කවදාවත් උදේට අවදි වූ සැණින් මේ දේවල් 7 කරන්න එපා.
වර්තමාන සමාජය කියලා කියන්නෙ කාර්යබහුලත්වයෙන් පිරුණු තැනක්. මේ කාර්යබහුලත්වයට අමතරව අපේ ජීවිත ඒකාකාරී බවිනුත් පිරිලයි තියෙන්නේ. ඒ කියන්නෙ අපි හැමෝටම වගේ උදේ නැගිටපු වෙලේ ඉඳන් රෑට නිදාගන්නකල්ම හැමදාම කරන්න වෙලා තියෙන්නෙ එකම වැඩ කොටසක්. ඉතින් මේ කියපු කරණු 2ත් එක්ක වර්තමාන සමාජයේ බොහෝ දෙනෙකුට ජීවිතය ඉතාම නීරස එකක් බවට පත්වෙලා තියනවා. මේ නිසාම උදේ පාන්දරම වදින එලාම් ඔරලෝසුවට ගොඩක් දෙනෙක් දැන් වෛර කරන්න පටන් අරන්. එලාම් හඬ ඇහෙනකොටම දවස පිළිබඳ ධනාත්මක සිතිවිලි ඇති වෙනවා වෙනුවට බොහෝ දෙනෙක්ට දැනෙන්නේ අධික කම්මැලි ගතියක්. නමුත් උදෑසන කාලය කියලා කියන්නේ ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් එකක්. ඔබ උදෑසන කාලයේ හැසිරෙන ආකාරයෙන් තමයි ඔබේ ජීවිතයේ දියුණුව තීරණය වෙන්නේ. මෙන්න මේ නිසා අද අපි හිතුවා කවදාවත් උදේ නැගිටපු ගමන් කරන්න හොඳ නැති දේවල් 7ක් පිළිබඳව ඔබව දැනුවත් කරන්න. බලන්න ඔබත් උදේට මේ දේවල් කරනවද කියලා
(1) එලාම් එකේ snooze බටනය එබීම
අපි හැමෝම ආස කරන දෙයක් තමයි උදේට එලාම් එක වැදුනට පස්සෙ තව ටික වෙලාවක් කොහොම හරි නිදාගන්න එක. ඇත්තටම මේ වැඩේටම සපෝට් කරන ඔප්ෂන් එකකුත් ෆෝන් එකේ එලාම් ඇප් එකේම අපිට දීලා තියෙනවා. ඒ තමයි snooze බට්න් එක. snooze බට්න් එක ඔබලා ඔයාට පුළුවන් තව විනාඩි 5ක්, එහෙම නැත්නම් 10ක් විතර වැඩිපුර නිදාගන්න. මේ නිසාම ඔයා snooze බට්න් එක දෙතුන් පාරක් ඔබලා නිදාගන්නව ඇති. හැබැයි අපි වැඩිය හිතන්නෙ නැතුව කරන මේ වැඩෙන් අපේ ජීවිත වල දියුණුව ගොඩක් ආපස්සට යනවා. ඇත්තටම ඔබ නිතර මේ snooze බට්න් එක ඔබන කෙනෙක් නම් කණගාටුවෙන් වුණත් අපට කියන්න වෙනවා මේ වෙනකොටත් ඔබට ජීවිතයේ ගොඩක් දේවල් අහිමි වෙලා තියනව කියලා. ඔයා හැමදාම කරපු මේ වැඩේ නිසා ඔයාගෙ අරමුණු වෙත යන්න ඔයා දැනටමත් ගොඩක් පරක්කු වෙලයි තියෙන්නෙ. හැමදාම උදේට වැඩට යන්න, සම්මුඛ පරීක්ෂණ වලට යන්න, වැදගත් මිනිස්සු හමුවීමට යන්න, වටිනා ව්‍යාපාරික අවස්ථා ග්‍රහණය කර ගැනීම වගේ දේවල් මේ නිසා ඔයා දන්නෙම නැතුව පරක්කු වෙනවා. ඒ දේවල් වලින් නවතින්නෙ ඔයාගෙ දියුණුව බව හොඳින් මතක තබා ගන්න. අනිත් දේ තමයි උදේට පරක්කු වෙලා ඇහැරුණු ගමන් අපි ලොකු පීඩනයකින් තමයි දවසට මුහුණ දෙන්නේ. මේ පීඩනයත් එක්ක අපි දවස පුරා ගන්න ගොඩක් තීරණ වැරදි ඒවා බවට පත් වෙනවා. අන්න ඒ නිසා එලාම් එක වැදුණු ගමන් බොහොම ප්‍රබෝධමත්ව ඔබේ දවස ආරම්භ කරන්න. එවිට රැකියාවේ උසස්වීම්, ව්‍යාපාරික දියුණුව වගේ දේවල් නිරායාසයෙන්ම ඔබව සොයාගෙන ඒවි.
(2) ෆේස්බුක් යාම – සමාජ මාධ්‍ය පරිහරණය
අද අවුරුදු 12/13 ළමයින්ගෙ ඉඳන් පැන්ෂන් ගිහින් ගෙදර ඉන්න වැඩිහිටියන්ට පවා ෆේස්බුක් අකවුන්ට් එකක් තියනවා. ෆේස්බුක් විතරක් නෙමෙයි. වට්සැප්, ට්විටර්, යූටියුබ් වගේ තවත් සමාජ මාධ්‍ය ගිණුම් රාශියක් අපි හැමෝම භාවිතා කරනවා. බොහෝ දෙනෙක් උදේට නැගිටපු ගමන් කරන්නෙ මේ වගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට ලොග් වෙලා යාළුවන්ගෙ, එහෙම නැත්නම් නෑදෑ හිත මිතුරන්ගෙ පෞද්ගලික තොරතුරු, ෆොටෝ, වීඩියෝ වගේ දේවල් බලන එක. අපි ගොඩක් වෙලාවට රෑට ෆෝන් එක ළඟින් තියාගෙන නිදාගන්න නිසා මේ දේ අපි අතිනුත් නොදැනුවත්වම සිදු වෙනවා. හැබැයි උදේ නැගිටපු ගමන් කරන මේ වැඩෙන් වෙන්නෙ අපි දන්නෙම නැතුව අපිව මානසික ආතතියකට ලක්වෙන එක. මොකද ඇත්තටම කිවුවොත් ෆේස්බුක් එක කියලා කියන්නෙ මිනිසුන් තමන් ගාව නැති තත්ත්වයක් ලෝකයට පෙන්වන්න උත්සාහ කරන තැනක්. ඔබ ඒවා ඔබේ ජීවිතේ සත්‍ය තත්ත්වයත් එක්ක සසඳන විට ඔබ නොදැනුවත්වම සිද්ධ වෙන්නෙ ඔබව ආතතියට ලක් වෙන එක විතරයි. ඒ නිසා කවදාවත්ම උදේට ඇහැරපු ගමන් ෆේස්බුක් යන්න එපා. දවසේ අනිත් කාලයේදී වුණත් සමාජ මාධ්‍ය වල සත්‍ය තත්ත්වය තේරුම් අරගෙන එය පාවිච්චි කරන එක ඔබේ මනසට හොඳයි.
(3) හිස්බඩ කිරි හෝ කෝපි පානය කිරීම
සමහරුන්ට නම් උදේ නැගිට්ට ගමන්ම කෝපි හෝ කිරි කෝප්පය බිවුවෙ නැත්නම් ඇඟට කිසිම ෆිට් එකක් ඇත්තෙ නැහැ. සමහරවිට ඔබටත් එහෙම වෙන්නැති. හැබැයි ඔබ මේ කරන වැඩේ නිසා ඔබට සිදු වුණ ප්‍රබල අවාසි 2ක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි පැය 7ක් 8ක් එක දිගට නිදාගත්තට පස්සෙ ජලය අඩු බව නිසා අපේ ශරීරය ගොඩක් වියළි භාවයට පත් වෙලයි තියෙන්නේ. විශේෂයෙන්ම එළි වෙනකල් ෆෑන් දාගෙන නිදාගන්න අයට මේ විජලන තත්ත්වය බොහොම දරුණුවට බලපාන්න පුළුවන්. ඉතින් මේ නිසා ඔබ උදෑසන අවදි වූ සැණින් ඔබ බොන්න ඕනෙ කිරි හෝ කෝපි නෙමෙයි. හොඳ වතුර වීදුරුවක් දෙකක් බොන එක තමයි ඒ වෙනුවට කරන්න තියෙන හොඳම වැඩේ. එමඟින් විජලනය නිසා ශරීරයේ අඩපණ වෙලා තියෙන සියලු ඉන්ද්රියයන් හොඳින් ක්‍රියාකාරී වෙන්න ගන්නවා. මෙන්න මේ නිසා ඔබේ දවසත් බොහොම ප්‍රබෝධමත් එකක් බවට නොදැනුවත්වම පත් වෙනවා.
(4) ප්‍රෝටීන් නොමැති උදේ කෑම වේලක් ගැනීම
අධික කාර්යබහුලත්වය නිසා මිනිසුන් අඩුවෙන්ම අවධානය යොමු කරන ආහාර වේලක් තමයි උදේ ආහාරය කියලා කියන්නෙ. මේ නිසා බොහෝ මිනිසුන් උදේ ආහාරය සඳහා ක්ෂණික දේවල් ආහාරයට ගැනීම සිදු වෙනවා. වෙනදට අම්මගෙ අතින් ඉදෙන බත, මාලුව වෙනුවට පාන්පිටි වලින් හදලා ඊස්ට් වලින් පුම්බපු කිසිම පෝෂණ ගුණයක් නැති මේ ක්ෂණික ආහාර අපේ ශරීරයට ඉතාම අහිතකරයි. මේ විදියට පිෂ්ඨය විතරක් තියන කෑම ජාති කන එක ඔයාට ඒ වෙලාවට විතරක් ශක්තිය දුන්නත් ටික වෙලාවක් යනකොට නිදිමතක් වගේම නැවත බඩගින්නක් එන්නත් පුළුවන්. වෛද්‍යවරුන් කියන විදියට උදේ ආහාරය සඳහා අප සකසා ගත යුත්තේ ගුණදායක ප්‍රෝටීන් හා මේදය අඩංගු ආහාර වේලක්. බිත්තර, ඕට්ස්, හණ ඇට, ධාන්‍ය වර්ග, හරිත තේ වගේ දේවල් උදේ ආහාරය සඳහා බොහොම කදිමයි. ඒ නිසා උදේ ආහාරය සඳහා පිෂ්ඨය බහුල ආහාර වෙනුවට අපි මේ කියපු ප්‍රෝටීන් බහුල ආහාර අනුභව කළොත් හොඳ ප්රබෝධයකින් ඔබේ දවස ආරම්භ කරන්න පුළුවන් වේවි.
(5) ඇඳ සැකසීම
සමහරුන්ට නම් ඒක දැකපු ගමන් හිනා යන්න ඇති අපි මොන විකාරයක්ද මේ කියන්නෙ කියලා. හැබැයි තමන් නිදාගත්ත ඇඳ හදන් නැතුව ඉන්න එක අපේ සෞඛයට ගොඩක් හිතකරයි කියලා බ්‍රිතාන්‍යයේ කිංග්ස්ටන් සරසවිය විසින් කරන ලද අධ්‍යනයකට අනුව සොයාගෙන තියනවා. අපේ ගෙවල් වල ඉන්නව මයිටාවො කියලා විවිධ ලෙඩ රෝග බෝ කරන ඇසට පේන්නෙ නැති කුඩා සතුන් ජාතියක්. දූවිලි එක්ක තමයි මේ මයිටාවො නිවස පුරා පැතිරෙන්නේ. ඔවුන්ට වර්ධනය වීම සඳහා තෙතමනය සහිත සීතල පරිසරයක් තමයි අවශ්‍ය වෙන්නේ. උණුසුම් පරිසරයක් තුළ මයිටාවන්ට වර්ධනය වෙන්න බැහැ. උදේට අපි නිදාගත්ත ඇඳේ හොඳ උණුසුමක් තියනවා. හැබැයි අපි ඇඳ බොහොම පිළිවෙලට හැදුවොත් නම් මේ උණුසුම නැති වෙලා තෙතමනය වර්ධනය වෙනවා. එතකොට වෙන්නෙ ඇඳ මත මයිටාවො බෝ වෙනවා. හැබැයි ඇඳ හදන් නැතුව අවුල් වෙච්ච විදියටම තිබ්බොත් ඇඳේ තියන රස්නෙ නිසා මයිටාවො ඇඳට එන්නෙ නැහැ. එක ඇඳක් මත පමණක් මේ දූවිලි මයිටාවො බිලියන එකහමාරකට ඉන්න පුළුවන්ලු. ඉතින් ඔබත් හැමදාම නැගිටපු ගමන් ඇඳ හදන කෙනෙක් නම් ඔබටත් වැළඳෙන විවිධ ආසාත්මිකතා වලට හේතුව ඒක වෙන්න පුළුවන්.
(6) පමණට වඩා තීරණ ගැනීම
රාත්‍රියේ දීර්ඝ නින්දක් ලබාගෙන අවදි වෙන අපේ මනස උදේට හරිම සැහැල්ලුයි. හැබැයි අනවශ්‍ය විදියට දවස සැලසුම් කරන්න ගිහිල්ලා අපි විසින්ම මේ සැහැල්ලුව නැති කරගන්නවා. අද දවස ගැන පුංචි තීරණයක් ගන්න එක නම් ඇත්තටම හොඳ දෙයක්. ඒත් එක දවසක් තුළ වැඩ ගොඩක් කරන්න තීරණය කරන එක නම් එතරම් හොඳ දෙයක් නෙමෙයි. ඔබේ ජීවිතය ඔබ මේ දක්වා නිවැරදිව කළමණාකරණය කරගෙන ආවා නම් කවදාවත් එක දවසක් තුළ කළ යුතු වැඩ ගොඩක් ඔබට එකතු වෙන්නෙ නැහැ. ඒ නිසා කවදාවත් වැඩ කල් දාන්න එපා. අද වැඩේ අදම ඉවර කරලා දාන්න. හැබැයි දැන් ඔබට කරන්න වැඩ ගොඩක් එකතු වෙලා තියෙනවා නම්, සේරම වැඩ එකම දවසෙ කරන්න තීරණය කරන්නත් එපා. ඒකෙන් වෙන්නෙ මනසට ලොකු පීඩාවක් ගෙනදෙන එක. අවසානයේ ඔබට එක වැඩක්වත් හරියට කරගන්න බැරි වෙනවා. මේ නිසා එක දවසක් තුළ උදේට ගන්න තීරණ ප්‍රමාණය අඩු කරන්න. එක දවසකට එක ඉලක්කයක් හෝ දෙකක් නිවැරදිව සම්පූර්ණයෙන් නිමා කරන්න. මෙන්න මේ විදියට කළොත් අනිවාර්යයෙන්ම බොහොම කෙටි කාලයක් ඇතුළතදී ඔබේ ජීවිතයට ලොකු මානසික නිදහසක් ලැබේවි.
(7) රූපවාහිනිය නැරඹීම
උදේ නැටපු ගමන් රූපවාහිනිය නැරඹීම කියන්නෙත් ඔබ නොකළ යුතුම දෙයක්. ෆේස්බුක් එක වගේම රූපවාහිනී මාධ්‍ය තුළත් උදෑසනට විකාශනය වෙන්නෙ මනසට ඍණාත්මක හැඟීම් එකතු කරන වැඩසටහන් තමයි. විශේෂයෙන්ම පත්තර කියවන වැඩසටහන් නම් බලන්නම එපා. මොකද, ඔවුන් නිතරම කියවීම සඳහා තෝරාගන්නේ අපේ මනසේ හැඟීම් වලට වැඩියෙන්ම බලපෑම් කරන්න පුළුවන් ප්රවෘත්ති. මේ නිසා අපේ සිතට උදේ කාලයේ අනවශ්‍ය විදියට ආවේගය, දුක, සංවේගය, වෛරය වගේ අදහස් මතු වෙනවා. මෙහි ප්‍රථිපලයක් විදියට උදේට බොහොම සංසුන්ව තිබූ අපේ මනස අවුල් වීම සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි රූපවාහිනී වැඩසටහන් මඟින් අපේ ඇඟේ ආතතිය පාලනය කරන හෝමෝනය වන කෝටිසෝල් හෝමෝනයට ප්‍රබල හානියක් සිදු කිරීම. ඒවගේම උදේට ටීවි බැලීම නිසා අපේ වටිනා කාලයකුත් නාස්ති වෙනවා. ඔයාට ටීවි බලන්නම හිතෙනව නම් ඒක නතර කරන්න තියෙන ලේසිම ක්‍රමය තමයි, ඒ කාලය ව්‍යායාම් ටිකක් කරන්න වෙන් කරන එක. පොඩ්ඩක් නිවසින් බැහැරට ගිහිල්ලා දිවීම, බයිසිකල් පැදීම, ඇවිදීම වගේ ව්‍යායාම ඔයාට කරන්න පුළුවන් නම් ඔයාගෙ මනසට හොඳ සැහැල්ලුවක් දැනෙනව වගේම ශරීරයටත් හොඳ සුවතාවයක් දැනේවි. එහි ප්‍රථිපලයක් විදියට දවස බොහොම ප්‍රබෝධයෙන් ගත කරන්න ඔයාට අවස්ථාව ලැබේවි.
එහෙම නම් අපි මේ කියපු දේවල් 7 කවදාවත් උදෑසන කාලය තුළ ඔබ කරන්න යන්න එපා. ඔබ මේ දේවල් කරන එකෙන් වැළකිලා හිටියොත් දවස බොහොම ප්‍රබෝධයෙන් ගත කරන්න ඔබට අවස්ථාව ලැබෙනව වගේම ඔබේ ජීවිතයේ දියුණුවත් ඔබ බලන් ඉඳිද්දි ඔබ කරා ළඟා වේවි.
0 Comments