අපි අපේ ලෝක සිතියම ටිකක් අධ්‍යනය කරලා බැලුවොත් අපිට පේනවා උතුරු අර්ධගෝලයට ආසන්න රටවල්, සමකයට ආසන්න රටවල් වගේම දකුණු අර්ධගෝලයට, එහෙම නැත්නම් සමකයට පහතින් පිහිටි රටවල් විදියට ලෝකෙ රටවල් කාණ්ඩ වලට බෙදන්න පුළුවන් කියලා. මේ රටවල් වල දේශගුණය ඒ ඒ රටේ පිහිටීම අනුව වෙනස් වෙනවා කියලා ඔබ මේ වෙද්දිත් දන්නවා. සාමාන්‍යයෙන් සමකයට ආසන්න රටවල්, එහෙම නැත්නම් ශ්‍රී ලංකාව වගේ රටවල් වල අපිට සෘතු භේදයක් දකින්න ලැබෙන්නෙ නැහැ. හැබැයි සමකයෙන් ඈතට යද්දි ක්‍රම ක්‍රමයෙන් රටවල් වල කාලගුණය, දේශගුණය වගේ කාරණා ටික ටික වෙනස් වෙන්න ගන්නවා. හැබැයි ඉන්දියාව, චීනය වගේ විශාල රටවල් වල දේශගුණය ඒකාකාරීත් නෑ. මේ සියල්ල මැද්දෙ අපි ඔබට කිවුවොත් සීතල දේශගුණයක් තියෙන රටවල්, උණුසුම් කාලගුණයක් තියෙන රටවල් වලට වඩා ධනවත් කියලා. ඔබට වැටහෙනව ඇති ඒ ප්‍රකාශයේ යම්කිසි ඇත්තක් තියෙනව කියලා. ඇත්තටම ඒක එහෙමද? ඇයි එහෙම වෙන්නෙ? අන්න ඒ ගැන කියන්නයි අද අපෙ ලිපියෙ ඉඩකඩ වෙන් වෙන්නෙ. මෙහි අවසානය තෙක් කියවා ඔබේ දැනුම තවත් වැඩි කරගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා.
ඇමෙරිකා එක්සත් ජනපදය, ජර්මනිය, මහා බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ජපානය වගේම ස්විස්ටර්ලන්තය, ස්වීඩනය, ඩෙන්මාර්කය වගේ රටවල් සෞම්‍ය දේශගුණයක් පවතින සෘතු භේදය හොඳින්ම දකින්න පුළුවන් රටවල්. රුසියාව තුළ වුණත් මේ සෘතු භේදය හොඳින්ම අත්දකින්න පුළුවන්. මේ රටවල් වල නම් ලැයිස්තුව දකිද්දි ඔබට වැටහෙනවා ඇති මේ රටවල් සියල්ලම සංවර්ධිත, ලෝකේ ප්‍රධානතම, ධනවත් රටවල් කියලා. ඇත්තටම සරලව කිවුවොත් ලෝකේ බොහෝ ධනවත් රටවල් සීතල දේශගුණයක් සහිත රටවල්. අපි ඔබට කියන මේ කාරණය සරල සිද්ධාන්තයක් නෙමෙයි. රටවල් විදියට කොටසක් දියුණු වෙන්නටත්, තවත් රටවල් කොටසක් කාලයක ඉඳන් දියුණු වෙමින් පවතින රටවල් බවට පත් වෙන්නටත් මේ දේශගුණය කියන කාරණය තදින්ම බලපාලා තියනව කියන දේ හොඳටම ඔප්පු වෙනවා. අපි දැන් බලමු කොහොමද එහෙම වුණේ කියලා.
රටක් දියුණු වෙන්න ඒ රටේ වැඩ කරන ජනතාවගේ ශ්‍රමය තදින්ම බලපානවා. සාමාන්‍යයෙන් දැඩි හිරු රශ්මිය වගේ ස්වභාවික පාරිසරික තත්ත්වයන් ශ්‍රමිකයන්ගේ කාර්යක්ෂමතාවයට තදින්ම බලපාන දෙයක්. වර්තමානය වෙද්දි වායුසමීකරණ යන්ත්‍ර කාර්යාල තුළ බහුලව ක්‍රියාත්මක වුණත්, අතීතයේදී ලෝකෙ බොහෝ රටවල වායුසමීකරණ යන්ත්‍ර තිබුණෙත් නැහැ. එළිමහනෙ වැඩ කටයුතු කරද්දි, මේ වගේ පරිසරයේ උෂ්ණත්වය ඉහළ යාම වගේ කාරණා කර්මාන්ත වලට තදින්ම බලපෑවා. සෞම්‍ය දේශගුණික තත්ත්වයන් තුළ වැඩ කරද්දි මේ තත්ත්වය බොහෝ සෙයින් වෙනස්. සාපේක්ෂව ගත්තොත් ශ්‍රමිකයන්ට ඇති වන ශරීර තෙහෙට්ටුව ඉතා අඩු මට්ටමකයි තිබුණෙ. මේ අනුව උෂ්ණාධික රටවල් වලට සාපේක්ෂව සෞම්‍ය දේශගුණයක් සහිත රටවල් වල කර්මාන්ත වැඩි දියුණුවට පත් වුණා.
අනිත් කාරණය තමයි සීත සෘතුවකට මුහුණ දෙන රටවල් වල අවුරුද්දෙ වඩාත්ම අභියෝගාත්මක කාලය වෙන්නෙ මේ කියන සීත කාලෙමයි. මේ කාලෙදි එවන් රටවල ජනතාව ආහාර එක් රැස් කර ගනිමින් තමන්ගෙ අවශ්‍යතා ශීත සෘතුව තුළ සපය ගන්නයි පෙළඹෙන්නෙ. මේ නිසා ශීත සෘතුව තුළ රටේ ජනතාවගේ පැවැත්ම රඳා පවත්වගන්න අවශ්‍ය කර්මාන්ත සහ ආයතන එම රටවල් තුළ අතීතයේ ඉඳන්ම නිර්මාණය වුණා. ඒ බොහෝ ආයතන ඒවගේ රටවල් වලට ආවේණික නව කර්මාන්ත විදියට ඒ රටවල් ඇතුලෙම ස්ථාපිත කළා. ඔවුන් සාම්ප්‍රධායික ක්‍රම වලින් බැහැරට ගිහින් වගා ක්‍රම හඳුන්වාදීමෙ ඉඳලා වගා කිරීමේ උපකරණ නිර්මාණය කිරීම වගේම ආහාර නිෂ්පාදනය සඳහාත්, නව ක්‍රමවේදයන් හඳුන්වා දීමත් ඒ රටවල් වල සිද්ධ වුණා. ලෝකේ ඒකාකාරී දේශගුණයක් තියෙන රට වලට වඩා කර්මාන්ත තුළ වැඩි විකාශනයක්, එහෙමත් නැත්නම් නව්‍යකරණයක් මේ රටවල් තුළ දකින්න ලැබීමත් තවත් විශේෂත්වයක්. ඒ නිසා මේ පාරිසරික වෙනස්කම් ඒ රටවල් වල දියුණුවට තදින්ම බලපාන ලද බවයි විද්‍යාවේදීන්ගේ මතය වෙලා තියෙන්නෙ.
හැබැයි අපි අතීතය දිහා ආපහු බැලුවොත් ලෝකයේ ප්‍රධානතම ශිෂ්ටාචාරයන් බොහෝමයක් නිර්මාණය වෙලා තියෙන්නෙ උෂ්ණාධික කලාප වල කියලා ඔබ දන්නවා ඇති. විශේෂයෙන්ම ගත්තොත් මෙසපොතේමියානු ශිෂ්ටාචාරය, ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, මිසර වගේම ඉන්කා යන ශිෂ්ටාචාරත් බිහි වුණේ උෂ්ණත්වය වැඩි ප්‍රදේශ කේන්ද්‍ර කරගෙනයි. හැබැයි ඒ කාලයේදී මිනිසාගේ පරම අවශ්‍යතාව වුණේ ආහාර නිෂ්පාදනය විතරමයි. ඉතින් ආහාර නිෂ්පාදනයට වඩාත් යෝග්‍ය පරිසර තත්ත්වයන් පැවතියේ උෂ්ණත්වය සාපේක්ෂව වැඩි පැති වල. ශීත සෘතු වලට මුහුණ දීම ආහාර නිෂ්පාදනය සඳහා විශාල ගැටළුවක් බවට ඒ කාලෙත් පත් වෙලා තිබුණා. ඒ නිසා මේ තත්ත්වය මග හැරීමට අතීතයේදි බොහෝ ජනතාව තමන්ගෙ වාසභූමි විදියට සමකාසන්න හෝ උෂ්ණත්වය ඒකාකාරී ලෙස ප්රශස්ත මට්ටමක පැවති ප්‍රදේශ තෝරා ගැනීමටයි පෙළඹුණේ. හැබැයි ක්‍රම ක්‍රමයෙන් මිනිසා දියුණු වෙද්දි මිනිසුන්ගේ අවශ්‍යතා වෙනස් වනවා කියන කාරණය ඔබට වැටහෙන්නට ඕනේ.
මුදල් කියන ඒකකය හඳුන්වා දීමත් එක්ක මේ තත්ත්වය වඩාත් වෙනස් වෙන්න ගත්තා. මුදල් ඉපැයීම සඳහා සෘතු භේදය ඇති රටවල්, සෘතු භේදයක් නොමැති රටවල් වලට සාපේක්ෂව වැඩි කැපවීමකින් කටයුතු කළ බව අතීතයේ ඉඳන්ම දකින්න ලැබුණා. ශීත සෘතු වලදී ඇති වන බලපෑම මගහරවා ගැනීමට ඒ රටවල් අනික් රටවල් වලින් ඔබ්බට ගොස් නව වැඩ පිළිවෙළවල් සහ නව නිර්මාණ හඳුන්වාදීමත් සිද්ධ කළා. පරම්පරාවෙන් පරම්පරාවට ආපු මේ ක්‍රමවේදය අන්තිමේදි ඒ රටවල් වල දියුණුවට වක්‍රාකාරයෙන් විශාල දායකත්වයක් සපයනවා. විද්‍යාවේදීන් සඳහන් කරන තවත් කාරණයක් තමයි ශීතල පරිසර තත්ත්වයන් ඇතුලෙ දිවි ගලවා ගැනීමට ශීත රටවල මිනිසුන් ඉතා වෙහෙස මහන්සි වූ බව සහ ඒ වෙනුවෙන් බොහෝ දේ හිතා මතා සැලසුම් කරන ලද බව. මේ නිසාම ඔවුන්ගේ නිර්මාණශීලිභාවය ක්‍රම ක්‍රමයෙන් අනෙක් රටවල් වලට සාපේක්ෂව වැඩි වේගයකින් වර්ධනය වුණා කියලයි ඔවුන් කියන්නෙ.
මේ සීත කාලගුණය සහ දියුණුව එහෙමත් නැත්නම් සංවර්ධනය අතර තියෙන්නෙ ධනාත්මක සම්බන්ධතාවයක් කියන කාරණය ඔබට තේරෙන්නටම ඕනෙ. ලෝකේ සෘතු භේදය දකින්න පුළුවන් රටවල් අතරින් දුප්පත් යැයි කීමට ඇති රටවල් සංඛ්‍යාව ඉතාම අතලොස්සක් විතරයි. හැබැයි උෂ්ණාධික රටවල් වලින් බහුතරයක් දරිද්‍රතාවයෙන් පෙළෙන රටවල් කියන කාරණය ඔබට මනාවට වැටහෙනව ඇති. අපි නිකමට අප්‍රිකාව ගැන බැලුවොත් දකුණු අප්‍රිකාවේ සංවර්ධිත මට්ටම කරා ළඟා වූ රටකට තියෙන්නෙ දකුණු අප්‍රිකාව කියන රට විතරමයි. ආසියාවේ මැද පෙරදිග රාජ්‍යයන් කිහිපයක් සහ චීනය ජපානය හැර අනෙක් බොහෝ රටවල් තවමත් සංවර්ධනය වෙමින් පවතින රටවල්. දකුණු ඇමෙරිකාවේ තත්ත්වයත් ඒ වගේමයි. විශේෂයෙන්ම දකුණු ඇමෙරිකාවේ සෘතු භේදයක් නොමැති රටවල් වලට වඩා ශීත කාලගුණයක් සහිත රටවල් තුළ වැඩි සංවර්ධනයක් දකින්න ලැබෙනවා. ඔස්ට්‍රේලියාව තුළත්, විශේෂයෙන්ම මෙල්බන්, සිඩ්නි වගේ සෞම්‍ය දේශගුණයක් පවතින නගර වලට වඩා උෂ්ණත්වය සාපේක්ෂව ඉහළ නගර වල සංවර්ධනය අඩු බව දකින්න ලැබීමත් විශේෂ ලක්ෂණයක්.
හැබැයි මේ තත්ත්වයට අභියෝගයක් වුණු, එහෙම නැත්නම් අපි ඔබට ඉදිරිපත් කරන මේ සිද්ධාන්තයට අභියෝගයක් වුණු රටවලුත් තියෙනව කියන කාරණය අමතක කරන්න එපා. විශේෂයෙන්ම ගත්තොත් මැද පෙරදිග කලාපයේ තියෙන සෞදි අරාබිය, කුවේට්, ඕමාන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බෲනායි, බහරේන් සහ කටාර් වගේ රාජ්‍යයන් දැඩි උණුසුම් පරිසරයක් දැරුවත් ඉතාම සංවර්ධිත, එහෙම නැත්නම් ඉතාම ධනවත් රටවල් විදියටයි ප්‍රසිද්ධ. ඒකට ප්‍රධානතම හේතුව වෙන්නෙ මේ වගේම පාරිසරික තත්ත්වයන් අභිබවා ඔවුන් සතු ස්වභාවික සම්පත් වලින් මුදල් ඉපැයීමේ හැකියාව. විශේෂයෙන්ම ගත්තොත් ඛණිජ තෙල් නිධි විශාල වශයෙන් පවතින මේ රටවල් මෙච්චර ධනවත් වෙලා තියෙන්නෙ ඒ වගේ ප්‍රභව වලින් උපයනු ලැබෙන ආදායමෙන් විතරයි. චීනයේ තත්ත්වයත් ඒකමයි. හැබැයි සිංගප්පූරුව මේ සියලු කාරණා අභියෝගයට ලක් කරමින් විධිමත් පාලන තන්ත්රයක් යටතේ ඉතාම ශීඝ්‍රයෙන් දියුණු වෙන සුවිශේෂී රටක් විදියට ප්‍රසිද්ධයි. හොංකොං රාජ්‍යය පසු කාලෙකදි ලෝකයේ ප්‍රධානම වෙළඳ නගරයක් විදියට පත් වුණත්, ධනවත් වූ නමුත් අදටත් හොංකොං තුළ අධික දරිද්‍රතාවයෙන් පෙළෙන ජන කොට්ඨාශයක් වාසය කරනවා. සාපේක්ෂව ගතහොත් උෂ්ණත්වයෙන් ඉහළ රටවල් තුළ මේ දේශගුණික තත්ත්වය වක්‍රාකාරව ඒ රාජ්‍යයන්ගේ දියුණුවට යම් ආකාරයේ බලපෑමක් සිද්ධ කර ඇති බවට අපිට නිගමනය කරන්න පුළුවන්.
මේ ශීත දේශගුණයක් සහිත රටවල් බලවත් රාජ්‍යයන් නිර්මාණය කළ ආක්‍රමණ වලටත් මුහුණ දුන්නා. ශ්‍රී ලංකාව වගේ දීර්ඝ රජ පෙළපතක් සහිත රාජ්‍යයන්ට අත් වුණෙත් ඒ වගේ ඉතාම අභාග්‍යසම්පන්න කාලයක්. ඉන්දියාව, ලංකාව වගේම අප්‍රිකාවේ සහ දකුණු ඇමෙරිකාවේ බොහෝ රාජ්‍යයන් වල සංවර්ධනයත් මේ නිසා අඩාල වුණා.
අවසාන වශයෙන් අපි ඔබට කියන්නෙ දේශගුණය කියන්නෙ රටක සංවර්ධනය සඳහා බලපාන ලද එක් කුඩා මෙන්ම රටේ දියුණුව වෙනුවෙනුත් විශාල වශයෙන් හේතු වෙන එක් කාරණයක් පමණයි. ඉන් ඔබ්බට ගිය ස්වභාවික සම්පත් ඵලදායී ලෙස ආර්ථික මට්ටමට යොදා ගැනීමේ ඉඳන් දූෂණ වංචා වලින් තොර පාලන තන්ත්රයන් රාජ්‍යයන් තුළ නිර්මාණය වීම සහ රටේ ජනතාව එකාවන්ව තමන්ගේ මෙන්ම රටේ දියුණුව වෙනුවෙනුත් විශාල කාර්යභාරයක් ඉටු කිරීම වගේ කාරණා රටක දියුණුවට අතිශයින්ම බලපානවා. විශේෂයෙන්ම සිංගප්පූරුව වගේ රටවල් අති විශාල දියුණුවක් අත් කරගත්තේ එවන් පසුබිමක් තුළයි.
0 Comments