එදා මෙදාතුර ලෝකයේ සිදුවුණු සාර්ථකම අත්වැරැද්ද දන්නවද? | The Most Successful Mistake Ever | time2talk

Coca-Cola කියන්නෙ ලෝකෙ කොයි තරම් ජනප්‍රිය පානයක්ද කියලා ඔබට අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නෙ. Coca-Cola මුලින්ම ජනතාවට හඳුන්වලා දෙන්නෙ වර්ෂ 1886 දි. ඒ කියන්නෙ මීට වසර 137කට කලින්. Coca-Cola ලෝකෙට හඳුන්වලා දුන්න හැටි වගේම Coca-Cola සමාගම හා බැඳුණු රහස් වට්ටෝරු ගැන ඔබ යන්තමින් හරි දන්නවත් ඇති. ඉතින් අපි අද විස්තර කියන්න යන්නෙ Coca-Cola සමාගමට එදා මෙදා තුර සිදු වුණ ලොකුම අත්වැරැද්ද ගැන. ඒ අපූරු සිදුවීම ගැන දැනගන්න මේ ලිපිය අවසන් වෙනකල්ම කියවන්න.

Coca-Cola සමාගමට කීපවරක්ම Pepsi සමාගම මිලදී ගන්න අවස්ථාව ලැබිලා තියෙනව. 1893 දි ඔවුන්ට ඒ අවස්ථාව හිමි වෙන්නෙ ඩොලර් 50,000ක් තරම් අඩු මුදලකට. නමුත්, Coca-Cola සමාගම ඒ හැම අවස්ථාවක්ම ප්‍රතික්ෂේප කරනවා. ඒ වෙනුවට ඔවුන් උත්සාහ කරන්නෙ Pepsi සමාගමට විරුද්ධව නඩු පවරන්න. ඒ, Pepsi සමාගමේ වෙළඳ දැන්වීම් වල Coca-Cola යන වචනය භාවිත කිරීමට විරුද්ධව. Pepsi සමාගම ඒ හරහා Coca-Cola සමාගමේ නිෂ්පාදන හිමිකම් උදුරා ගැනීමට උත්සාහ කරන බවයි ඔවුන් එල්ල කළ චෝදනාව. නමුත්, Pepsi සමාගම පෙරළා Coca-Cola සමාගමට විරුද්ධව නඩු පැවරීමත් එක්ක තත්ත්වය කණපිට හැරෙනවා. ඔවුන්ගේ චෝදනාව වුණේ Coca-Cola සමාගම වෙළඳ ඒකාධිකාරයක් ගොඩ නගා ගැනීම සඳහා තරඟකාරී උපක්‍රම භාවිත කරන බවයි. මේ කාරණාවට අධිකරණය එකඟ වෙනවා. Cola යනු ඕනෑම අයෙකුට භාවිත කළ හැකි විශේෂ නාමයක්. නැත්නම් විද්‍යාත්මක නාමයක් බව නියෝග කරනවා. කොහොම හරි Coca-Cola සමාගමට Pepsi සමාගම මිලදී ගැනීමේ අවස්ථාව මගහැරුණු දා පටන්ම ඔවුන්ට Pepsi සමාගම සමඟ නොනවතින අලෙවිකරණ තරඟයක යෙදෙන්න සිදු වෙනවා. එක්තරා තැනකදි මේ සමාගම් දෙකම තමන්ගෙ නිෂ්පාදන වල මිල අඩු කරමින්, විවිධාකාරයේ වට්ටම් පිරිනමමින් පාරිභෝගිකයන් ආකර්ෂණය කරගන්න දැඩි උත්සාහයක යෙදෙනවා. නමුත් ඉතා ඉක්මනින්ම ඔවුන් තේරුම් ගන්නවා මේ තරඟය ඔවුන් දෙපාර්ශවයටම හානිකර බව. ඔවුන් අතර කිසියම් රහස් ගනුදෙනුවක් සිදු වුණාද කියන්න දන්නෙ නෑ. කෙසේ හෝ මේ දෙපාර්ශවයම නැවතත් ඔවුන්ගේ සාමාන්‍ය මිලකරණයන්ට පැමිණෙනවා. ඉන් පස්සෙ ඔවුන් අතර තරඟය ප්‍රකාශ වෙන්නෙ සුපුරුදු පරිදි අලෙවිකරණයෙදි පමණයි. කාලයත් එක්ක Pepsi සමාගමට එනව හරි සරල, නමුත් කදිම අදහසක්. ඒ තමයි ඔවුන්ගෙ පානයේ රස මත පදනම් වෙලා තරඟ කරන එක. ඒ අනුව 1975 දි Pepsi සමාගම Pepsi Challenge නමින් අළුත් වැඩක් පටන් ගන්නවා. ඒකෙදි ඔවුන් මිනිසුන්ට දෙනව සුදු පාට කෝප්ප දෙකක්. මේ දෙකෙන් එකක අඩංගු වෙන්නෙ Pepsi. අනිත් එකේ Coca-Cola. හැබැයි මිනිස්සු දන්නෙ නෑ හරියටම මොන කෝප්පෙද ඒවා අඩංගු වෙන්නෙ කියලා. මිනිස්සුන්ට කියන්න කරන්න තිබුණෙ එක දෙයයි. ඒ දෙකම පානය කරලා තමන් වඩා කැමති මොන පානයටද කියලා කියන එක විතරයි. එහි ප්‍රතිඵල වලින් පෙන්නුම් කළේ Coca-Cola පානයට සාපේක්ෂව Pepsi වල රසයට වැඩි පිරිසක් කැමති බවයි. ඒත් එක්කම Pepsi සමාගම මේ කාරණය තමන්ගෙ අලෙවිකරණ ව්‍යාපාරයට යුහුසුළුව යොදාගන්නවා. Coca-Cola සමාගම මේ වාර්තාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. නමුත් Coca-Cola සමාගම ඔවුන් විසින්ම මෙහෙයවපු පරීක්ෂණයෙනුත් තහවුරු වුණේ Pepsi රසයට වැඩි දෙනෙක් කැමති බවයි. මේ එක්කම Coca-Cola සමාගමට තමන්ගෙ වෙළඳපොළ ටිකෙන් ටික අහිමි වෙමින් තිබුණා. මේක නවත්වන්න ඔවුන් නොකළ දෙයක් නෑ. දැවැන්ත අළෙවිකරණ ව්‍යාපාර, මිළ ප්‍රවර්ධන ආදී සියල්ලම ඔවුන් සිදු කළා. නමුත් වසරෙන් වසර Coca-Cola සමාගමේ වෙළඳපොළ හිමිකම ටිකෙන් ටික පහළ බැස්සා. Pepsi සමාගමේ හිමිකම් වැඩි වුණා. ඒකත් එක්ක ඔවුන්ට අවබෝධ වුණා Pepsi Challenge එක හරහා ලැබුණු ප්‍රතිඵල නිවැරදි බව. ඒ නිසාම Coca-Cola සමාගම මේ වෙනුවෙන් ඉතාම රහස්‍ය මෙහෙයුමක් දියත් කළා. ඔවුන් උත්සහ කරන්නෙ Coca-Cola පානයේ Formula එක වෙනස් කරන්න. ඉතාම බරපතල විදියට කරපු පරීක්ෂණ ගණනාවකින් පස්සෙ ඔවුන් හොයාගන්නවා පැරණි Coca-Cola Formula එකටත් Pepsi Formula එකටත් වඩා හොඳින් ක්‍රියා කරන නව ආකෘතියක්. ඔවුන් දිගින් දිගටම මිනිස්සු යොදාගෙන රස පිළිබඳ සමීක්ෂණය කරද්දි පෙනී ගියා නව Coca-Cola පානය වඩා ජනප්‍රිය බව. ඒ නිසා Coca-Cola සමාගමේ සේවා සැමරුම ඔන්න මෙන්න තියලා ඔවුන් මෙම Formula එක New Coke ලෙස වෙළඳපොළට ඉදිරිපත් කරනවා. ඔවුන් ඒක හැඳින්වූවේ ඉතිහාසයේ වඩා වැදගත්ම සංවර්ධන පෙරළිය විදියට. ඔන්න දැන් තමයි කලබලය පටන් ගන්නෙ. දිනපතාම දුරකථන ඇමතුම්, ලිපි දහස් ගණනක් Coca-Cola සමාගම වෙත ලැබෙන්න ගන්නවා. මිනිස්සු හොඳටම කලබල වෙලා ඔවුන් Coca-Cola වල පැරණි ආකෘතිය නැවත ඉල්ලා සිටිනවා. Coca-Cola සමාගම ඔවුන්ට පුරුදු ඔවුන් දන්න Formula එක වෙනස් කිරීම ගැන ජනතාවද කෝපයට පත් වෙනවා. Coca-Cola සමාගම හිතුවේ මේ තත්ත්වය ඉක්මනින්ම මග හැරිලා යයි කියලා. මොකද, මිනිස්සු යම් යම් අවස්ථා වල මේ අලුත් පානය රස විඳින්න උත්සාහ කරලා තිබුණා. නමුත් සිද්ධ වුණේ මිනිස්සුන්ගෙ කෝපය තවත් උත්සන්න වුණ එක විතරයි. ජනමාධ්‍ය වල පවා පිරිලා තිබුණෙ ඔවුන්ට විරුද්ධ පුවත් වාර්තා වලින්. මාස ගණනාවක් තිස්සෙ Coca-Cola සමාගමට ලැබුණු පැමිණිලි වල කෙළවරක් තිබුණෙ නෑ. නව නිෂ්පාදනයේ වෙළඳ දැන්වීම් දකිනවිට පවා ජනයා විරුද්ධත්වය ප්‍රකාශ කරා. හැමෝම New Coke වලට වෛර කරන්න පටන් ගත්තා. සමහරු අලුත් පානය රසවිදින්න උත්සාහ කරන්නවත් කැමති වුණේ නෑ. ඇත්තටම මෙතන ප්‍රශ්නෙ තිබුණෙ රසයෙ නෙමෙයි. අලුත් පානය පරණ Coca-Cola වලට වඩා රසවත් බවට තර්කයක් තිබුණෙ නෑ. ගැටළුව වුණේ මිනිස්සු Coca-Cola කියන සන්නාමය වැළඳගෙන තිබුණෙ තමන්ගෙ පරණ මිතුරෙක් විදියට. තමන්ගෙ එදිනෙදා ජීවිතයෙ කොටසක් විදියට. වසර 100ක් පුරාවටම මොන තත්ත්වයක් යටතේවත් Coca-Cola කියන නමට මිනිසුන්ගෙ හදවතේ හිමි වෙලා තිබුණු තැන අහිමි වෙලා නෑ. සරලවම කිවුවොත් Coca-Cola කියන්නෙ Icon එකක්. මිනිස්සුන්ට මේ තරම් වටින මේ තරම් දැනෙන දෙයක් වෙනස් කිරීම සැළකෙන්නෙ ඇත්තටම පාවාදීමක් විදියට. එක්තරා පැමිණිල්ලක පුද්ගලයෙක් සඳහන් කරලා තිබුණෙ Coca-Cola සමාගම තමන්ගෙ ළමා කාලය වෙනස් කළ බවයි. මාස ගණනක් ගත් වුණත් විරෝධය නැති වෙලා ගියෙ නෑ. Coca-Cola සමාගමට තමන්ගෙ පරණ නිශ්පාදන නැවත වෙළඳපොළට ගෙන එන්න සිදුවෙන බවක් තමයි පේන්න තිබුණෙ. ඔවුන් සිදු කර තිබුණෙ දැවැන්ත අත්වැරැද්දක්. සමාගමේ තීරණයක් මේ තරම් පසු බෑමකට ලක් වෙලා තියෙන්නෙ ඉතිහාසයේ අවස්ථා කිහිපයකදි පමණයි. නමුත් මේ දැවැන්ත අත්වැරැද්ද Coca-Cola සමාගමේ ලොකුම සාර්ථකත්වය වෙයි කියලා කවුරුත් හිතුවෙ නෑ. ඔවුන් පරණ ආකෘතිය Classic Coca-Cola නමින් වෙළඳපොළට එක කිරීමත් එක්ක මිනිස්සුන්ගෙ හිතේ තිබුණු තරහ සම්පූර්ණයෙන්ම වර්ණවත් බවට පත් වෙනවා. පැමිණිලි වෙනුවට දුරකතන ඇමතුම් ගණනාවක් පැමිණෙන්නේ මේ තීරණය ඔවුන්ට කෙතරම් වටිනවද කියන කාරණය ප්‍රකාශ කරන්න. සමාගමේ ප්‍රචාරක අංශයේ සේවකයෙක් වරක් පවසලා තිබුණා මේක හරියට ඔවුන් පිළිකාවට ඖෂධයක් හොයාගත්තා වගේ තත්ත්වයක් කියලා. මේ Classic Coca-Cola වෙළඳපොළට ඉදිරිපත් කිරීමත් එක්ක අදහාගත නොහැකි අන්දමින් Coca-Cola වල විකුණුම් ඉහළ යනවා. පුවත්පත් මේක හැඳින්වූවේ දශකයේ අළෙවිකරණ අත්වැරැද්ද “The marketing blunder of the decade” ලෙසයි. සමහර විශ්ලේෂකයො නම් මේක හුදෙක්ම වෙළඳ ප්‍රචාරණය වෙනුවෙන් Coca-Cola සමාගම සිදු කරපු රංගනයක් ලෙස අර්ථ දක්වනවා. එහෙම වුණා නම් ඒක යමෙකුට හිතන්න පුළුවන් විදියෙ විශිෂ්ටතම අලෙවිකරණ අදහසක්. නමුත් ඇත්තටම සිද්ධ වුණේ ඒක නෙමෙයි. New Coke කියන්නෙ Coca-Cola සමාගම විසින් සිදු කරපු ව්‍යසනකාරීම වැරදි විනිශ්චයක්. ඔවුන්ට ඇත්තටම හිතිලා තිබුණේ මිනිස්සු මේ අලුත් Formula එකට කැමති වෙයි කියලා. ඒ නිසාම Classic Coke හඳුන්වාදීමෙන් පස්සෙත් ඔවුන් New Coke පානය වෙළඳපොළේ තියන්න තීරණය කරා. ඔවුන් හිතුවෙ කාලයත් එක්ක මිනිස්සු මේ රසයට කැමති වෙයි කියලා. නමුත් ඔවුන්ට නැවතත් වැරදුනා. New Coke වල විකුණුම් කවදාවත් වර්ධනය වුණේ නෑ. ක්‍රමයෙන් ඒවා සම්පූර්ණයෙන්ම පද්ධතියෙන් ඉවත් කරන්න Coca-Cola සමාගමට සිදු වුණා. මේ තරම් ලොකු අත්වැරැද්දකින් වුණත් ලැබුණු ප්‍රතිඵලය නම් පුදුමාකාරයි. මේ අවුල නිසා මිනිස්සු තේරුම් ගත්තා තමන් පැරණි, නැත්නම් සම්භාව්‍ය Coca-Cola රසයට තමන් කොයි තරම් නම් ආදරය කරලද කියලා. ඒ නිසාමයි මේ Classic Coke එක නැවත වෙළඳපොළට ඉදිරිපත් කළ සැණින් ඔවුන්ගේ විකුණුම් ශීඝ්‍රයෙන් ඉහළ යන්නේ. ඒ නිසා New Coke නිශ්පාදනය එදාමෙදා තුර සිදු වූ සාර්ථකම අත්වැරැද්ද ලෙස හඳුන්වනවා.

Share this article on

Let’s talk about us!

ඔබගේ දැන්වීම් ප්‍රචාරණය සිදු කරගන්නා ආකාරය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට WhatsApp ඔස්සෙ සම්බන්ධ වන්න

Subscribe

අප විසින් පලකරනු ලබන ලිපි සහ අනෙකුත් විශේෂාංග පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීම සඳහා අපගේ Email ලැයිස්තුවට සම්බන්ධ වන්න

About the Author

Shanika Sewwandi

Follow Us

Your Thoughts…

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *