සැමට සුරක්ෂිත නාගරික ආර්ථිකයක් | 2023 ලෝක ජනාවාස දිනය |H M Dayananda |

by | Oct 2, 2023 | Social Space | 0 comments

2023 ලෝක ජනාවාස දිනය
සැමට සුරක්ෂිත නාගරික ආර්ථිකයක්
“Resilient urban economies. Cities as drivers of growth and recovery”

සෑම වසරකම ඔක්තෝම්බර් මස පළමු සදු දින ලෝක ජනාවාස දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සන්විධානය විසින් 1985 වසරේ ප්‍රකාශයට පත්කරමින් 1986 වසරේ සිට ශ්‍රී ලන්කාව ඇතුලු සියලුම සාමාජික රටවල් ලෝක ජනාවාස දිනය සමරනු ලබයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑම වසරකම ඔක්තෝබර් මාසයේ පළමු සඳුදා ලෝක ජනාවාස දිනය ලෙස නම් කළේ අපගේ වාසස්ථානවල තත්ත්වය සහ ප්‍රමාණවත් නවාතැන් සඳහා සියලු දෙනාගේ මූලික අයිතිය පිළිබිඹු කිරීම සඳහා ය. නගර සහ නගරවල අනාගතය හැඩගැස්වීමේ බලය සහ වගකීම අප සැමට ඇති බව හා මානව වාසභූමියේ අනාගතය සඳහා ලෝකයට ඇති සාමූහික වගකීම ලෝකයට මතක් කර දීම මෙම දිනයෙහි අරමුණ විය.

ඒ සදහා ගුණාත්මක මෙන්ම තිරසර විකල්ප විසදුම් ලබාදිමට කැපවීම සදහා සියලු හවුල්කාර පාරශ්වයන්ගේ අවධානය යොමුකිරීම වෙනුවෙන් කාලීන තේමාවන් එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම (UN- Habitat) විසින් ප්‍රකාශයට පත් කෙරේ.

ලෝක ජනාවාස දිනය ප්‍රථම වරට 1986 දී සමරනු ලැබුවේ “සෙවණ මගේ අයිතිය” යන තේමාවෙනි. අනෙකුත් තේමාවන් වූයේ: “නිවාස නැති අයට නවාතැන්” 1987; “නවාතැන් සහ නාගරීකරණය” 1990; “අනාගත නගර” 1997; “ආරක්ෂිත නගර” 1998; “නාගරික පාලනයේ කාන්තාවන්” 2000; “පැල්පතින් තොර නගර” 2001; “නගර සඳහා ජලය සහ සනීපාරක්ෂාව” 2003; “අපගේ නාගරික අනාගතය සැලසුම් කිරීම” 2009; “වඩා හොඳ නගරය, වඩා හොඳ ජීවිතය” 2010; සහ නගර සහ දේශගුණික විපර්යාස” 2011; ආදී වශයෙනි.

මේ අනුව 80 දශකයේ නිවාස අයිතිය සහ හිමිකම වෙනුවෙන් කැපවුන ලෝක ජනාවාස දින තේමාවන් 90 දශකය වනවිට නාගරීකරණය සහ නගර සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර ඇති බව පෙනීයයි. සහස්‍ර වසර ඇරබුමත් සමග එකී තේමාවන් බොහෝ දුරට “සහස්‍ර සන්වර්ධන ඉලක්ක” මත පදනම්ව දරිද්‍රතාවය, පානීය ජලය හා සනීපාරක්ෂාව මෙන්ම නාගරික සැලසුම් කරණය, යහපාලනය ආදී මාතෘකා ඔස්සේ නිර්මාණය වී ඇත. 2010 පසු දශකයේ ලෝක ජනාවාස දින තේමාවන් දේශගුණික විපර්යාස මුල්කරගෙන සාකච්චා වෙමින් පවතී.

2023 වසරේ ලෝක ජනාවාස දිනය ඔක්තෝබර් මස 2 වන දිනට යෙදී ඇති අතර මෙවර සැමරෙන්නේ ලෝක ජනාවාස දින 37 වන සැමරුම යි. 80 දශකයේ මේ රටේ ක්‍රියාත්මක වූ “නිවාස විප්ලවයේ” අත්දැකීම් මත ශ්‍රී ලන්කාව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව එක්සත් ජාතීන්ගේ සන්විධානය විසින් ලෝක ජනාවාස දිනය ප්‍රකාශයට පත්කිරීම නිවාස ක්ෂේත්‍රයේ ශ්‍රී ලන්කාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි.

මෙවර ලෝක ජනාවාස දින තේමාව “Resilient urban economies. Cities as drivers of growth and recovery” “ඔරොත්තුදෙන නාගරික ආර්ථිකයක්. නගර වර්ධනය තුලින් නැවත නැගි සිටිමු” යනුවෙන් ඍජුව තේරුම් ගත හැකි වූවද, “සැමට සුරක්ෂිත නාගරික ආර්ථිකයක්” යනුවෙන් සරලව ගත හැකි වේ. තම පුරවැසියනට ප්‍රතිලාභ ලබා දීම සඳහා නගරවලට සිය ආර්ථිකය ස්ථානගත කළ හැක්කේ කෙසේදැ යි යන්න මෙහිදී සොයා බලනු ඇත.

2023 වසර නාගරික ආර්ථිකයන් සඳහා විශේෂයෙන් අභියෝගාත්මක වසරකි. ගෝලීය ආර්ථික වර්ධනය 2.5% දක්වා පහත වැටීම, 2020 හි ඇරඹි COVID-19 අර්බුදය සහ 2009 ගෝලීය මූල්‍ය අර්බුදය හැරුණු විට මෙය 2021 සිට අත්විඳින ලද දුර්වලම වර්ධනය බැව් ජ්‍යාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වාදේ. මෙය ශ්‍රී ලන්කාවට ඉතා දැඩිව බලපා ඇති අතර මේ වනවිට රට ආර්තික වශයෙන් බන්කොලොත් බාවයට පත්ව ඇත.

ජාතික ආර්ථිකයට නගරවල දායකත්වයේ ප්‍රමාණය අනුව, බොහෝ රටවල අනාගතය තීරණය වන්නේ ඒවායේ නාගරික ප්‍රදේශවල ඵලදායිතාවය මතයි. නගර යනු වටිනාකම් නිර්මාණය හා වර්ධනය තුලින් ආර්ථිකය ප්‍රකෘතිමත් කෙරෙන යන්ත්‍රයකි.

මේ වනවිට නාගරික හරිතාගාර වායු විමෝචනයෙන් වැඩි ප්‍රමාණයක් හා ප්‍රවාහනය, ගොඩනැගිලි, බලශක්තිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය සමඟ ගෝලීය කාබන් ඩයොක්සයිඩ් විමෝචනයෙන් සියයට 70 කට පමණ වගකිව යුත්තේ ද නගරයි.

ඒ අනුව ආර්තික අර්බුද, දේශගුනික විපර්යාස බලපෑම් තුලින් නැවත නැගීසිටින පුරවැසියනගේ ආර්ථික වර්ධනය සහ ප්‍රකෘතිය තිරසාර වීමට නම් අපට අනාගත ආර්ථික කම්පන උකහා ගැනීමට, ප්‍රකෘතිමත් වීමට සහ සූදානම් වීමට හැකි නගර අවශ්‍ය වේ.

එහිදී පශ්චාත්-COVID ලෝකයක දේශගුණික මධ්‍යස්ථ ආර්ථිකයකට (climate neutral economy) සංක්‍රමණය වීමට අරමුදල් සැපයීම සඳහා පුද්ගලික සහ රාජ්‍ය ආයෝජන වැඩිකෙරෙන හරිත ප්‍රතිසාධන රාමුවක් (green recovery framework) තුලින් ආර්තිකයන් කළමනාකරනය කිරීම ඉතා වැදගත් බව එක්සත් ජාතීන්ගේ සන්විධානය ඇතුලු ජ්‍යාත්තන්තර සන්විධාන පෙන්වා දේ. ලොව පුරා නගර දැනටමත් විවිධ ආකෘතීන් ක්‍රියාත්මක කිරීම හරහා මෙම ගමන ආරම්භ කර ඇත.

අපගේ අනාගතය රඳා පවතින්නේ ජාතික, ප්‍රාදේශීය සහ ප්‍රාදේශීය ආණ්ඩු සහ සංවිධාන, ප්‍රජාවන්, අධ්‍යයන ආයතන, පෞද්ගලික අංශය සහ සියලුම අදාළ පාර්ශවකරුවන් තිරසාර, කාබන් මධ්‍යස්ථ, සියල්ලන් ඇතුළත් නගර සහ නගර නිර්මාණය කිරීම සඳහා එක්ව ක්‍රියා කිරීම මත ය. මෙවර ලෝක ජනාවාස දින සැමරුමේ දී මෙම පණිවිඩය මතකයේ රදවා ගනිමින් ක්‍රියාත්මක වෙමු.

එච්. එම්. දයානන්ද

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සාමාන්‍යධිකාරී

Share this article on

Let’s talk about us!

ඔබගේ දැන්වීම් ප්‍රචාරණය සිදු කරගන්නා ආකාරය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට WhatsApp ඔස්සෙ සම්බන්ධ වන්න

Subscribe

අප විසින් පලකරනු ලබන ලිපි සහ අනෙකුත් විශේෂාංග පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීම සඳහා අපගේ Email ලැයිස්තුවට සම්බන්ධ වන්න

About the Author

developer

Follow Us

Your Thoughts…

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *