මේ දවස් වල ගොඩක් දෙනෙක් හොයන, ඒ වගේම ගොඩක් දෙනෙක් කතා කරන මාතෘකාවක් ගැන තමයි අද ලිපියෙන් අපි ඔයාලව දැනුවත් කරන්න හිතුවේ. ඔයත් ට්රැවල් කරන්න ආස කෙනෙක් නම්, විෂේශයෙන්ම දුම්රිය ගමන් වලට කැමති කෙනෙක් නම් ඔයාට මේ ලිපිය ගොඩක් වැදගත් වේවි.
ලංකාවෙ ජීවත් වෙන කෙනෙක් විදියට අපේ රටේ සුන්දරත්වය හොඳින්ම විඳගන්න පුළුවන් වගේම කවදාවත් අමතක නොවෙන Experience එකක් ගන්න පුළුවන් මේ අවස්ථාව මගඇරෙන්න නොදී, මේ ගැන ඔයාට ඕනෙ වෙන හැම විස්තරයක්ම සරලව පැහැදිලි කරලා ඔයාව දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් දැන් අපි බලමු ඇල්ල ඔඩිසි සංචාරක සීඝ්රගාමී දුම්රිය ගැන.
මුලින්ම කියන්න තියෙන සුබ ආරංචිය තමයි තාවකාලිකව නවත්තලා තිබ්බ මේ ඇල්ල ඔඩිසි දුම්රිය නැවතත් 2022 අගෝස්තු මාසෙ දහතුන් වෙනිදා ඉඳලා ගමන් ආරම්භ කරලා තියෙනවා. ඒ අනුව හැම සතියකම සෙනසුරාදා, ඉරිදා දවස් දෙකේ තමයි මේ දුම්රිය වාරය ක්රියාත්මක වෙන්නෙ. ඒ වගේම අලුත් කාලසටහන් සංශෝදනයට අනුව හැම සතියකම බ්රහස්පතින්දා සහ සිකුරාදා තවත් අතිරේක ගමන් වාර දෙකක නිරත වෙනවා. මේ අලුත් සංශෝදනයට අනුව කොළඹ කොටුව සිට බදුල්ල බලා බ්රහස්පතින්දා සහ සෙනසුරාදා දින වල ගමන්වාර දෙකක් ක්රියාත්මක වන අතර බදුල්ල සිට කොළඹ කොටුව දක්වා සිකුරාදා සහ ඉරිදා දින දෙකේදි ගමන්වාර දෙකක් ක්රියාත්මක වෙනවා. මේ ලිපිය කියවන ඔයා සතිඅන්තෙ නිවාඩුවක් ගතකරන්න යන්න බලාපොරොත්තුවෙන් හිටියා නම් මේ තමයි ඒකට හොඳම විසඳුම.
ගිය අවුරුද්දෙ ඉඳන් අංක 1041 දරණ ඇල්ල ඔඩිසි සංචාරක නගරාන්තර සීඝ්රගාමී දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඉතින් මේ අලුත් සංශෝදනයට අනුව කොළඹ කොටුව සිට බදුල්ල බලා බ්රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල ගමන් වාර දෙකක් ක්රියාත්මක වන අතර බදුල්ල සිට කොළඹ කොටුව දක්වාත් සිකුරාදා සහ ඉරිදා යන දින දෙකේදි ගමන්වාර දෙකක් ක්රියාත්මක වෙනවා. කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන දුම්රිය සෑම සතියකම බ්රහස්පතින්දා සහ සෙනසුරාදා පෙ.ව. 5.30 ට කොළඹ කොටුව දුම් රිය ස්ථානයෙන් පිටත් වන අතර, බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය සෑම සතියකම සිකුරාදා සහ ඉරිදා පෙ.ව. 9.15 ට බදුල්ල දුම්රිය ස්ථානයෙන් පිටත් වෙනවා.
මේ කෝච්චිය අපි පහළින් දක්වලා තියෙන ඕනෙම දුම්රිය ස්ථානයක නවත්වනවා.
● ගම්පහ
● වේයන්ගොඩ
● පොල්ගහවෙල
● රඹුක්කන
● මහනුවර
● නාවලපිටිය
● හැටන්
● ගේට් වෙස්ටර්න්
● නානුඔය
● ඔහිය
● ඉදල්ගශින්න
● හපුතලේ
● දියතලාව
● බණ්ඩාරවෙල
● ඇල්ල
● දෙමෝදර
● හාලිඇල
● බදුල්ල
ලංකාවෙ සුන්දරම දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රිය මේ දුම්රිය ගමනේදී දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් වෙනුවෙන් දුම්රිය මාර්ගයේ හමුවන සංචාරක ආකර්ශණයට ලක් වූ නැරඹුම් ස්ථාන කීපයකදීම විනාඩි කිහිපයක් නැවැත්වීමට කටයුතු කර තිබෙනවා. එහිදී දුම්රියේ ගමන් ගන්නා සංචාරකයින්ට අදාල පරිසරයේ සුන්දරත්වය විඳගැනීමටත්, ඡායාරූප ගැනීමටත් අවස්ථාව හිමි වෙනවා. මෙම දුම්රිය නවතනු ලබන නැරඹුම් ස්ථාන අතර,
🔸හෝස් ටේල් ඇල්ල
🔸ශ්රී පාද නැරඹුම් ස්ථානය
🔸සෙන්ට්ක්ලෙයාර් ඇල්ල
🔸එල්ජින් ඇල්ල
🔸දුම්රිය මාර්ගයේ ඉහළම ස්ථානය (Summit level)
🔸ඔහිය 18 වන බිංගෙය
🔸ඉදල්ගස්සින්න හුලං කපොල්ල
🔸කිතල් ඇල්ල
🔸ආරුක්කු 09 පාලම
🔸දෙමෝදර බිංගෙය සහ පාලම දක්වන්න පුළුවන්.
මේ කෝච්චියේ මැදිරි සැකැස්ම සකස් කරලා තියෙන්නේ පලමු පන්තියේ මැදිරි 4ක්, දෙවන පන්තියේ මැදිරි 3ක්, භෝජනාගාර මැදිරියක් සහ S14 බලවේග මැදිරි කට්ටල 2ක් විදියට. ඒ වගේම මතක් කරන්නම ඕනෙ දෙයක් තමයි, මේ කෝච්චියේ සියලුම මැදිරි වල ආසන කලින් වෙන් කරවා ගන්න ඕනෙ. දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම නිවේදනය අනුව කලින් ආසන වෙන් කරවා ගැනීමේ කාල සීමාව ගමනට යෝජිත දින සිට දින 30කට පෙර සිදු කිරීමට හැකියාව ලැබෙනවා. කලින් මෙම කාලසීමාව දක්වා තිබුණේ දින 14කට පෙර ලෙසයි. මේ අලුත් සංශෝදනයට අනුව මාසෙකට කලින් ආසන වෙන් කරවා ගැනීමේ අවස්තාව සංචාරකයින්ට ලැබෙනවා. දේශීය සහ විදේශීය සංචාරකයන් වෙනුවෙන්ම ආරම්භ වූ සුඛෝපභෝගී දුම්රියක් වන මේ ඇල්ල ඔඩිසි දුම්රිය කොළඹ කොටුව සිට බදුල්ලට මේ දුම්රියට අදාළ ආසන වෙන් කිරීමේ ගාස්තු විදියට,
ප්රවේශපත් මිල ගණන්
🛑කොළඹ කොටුව – බදුල්ල
පළමු පංතිය රු. 5000.00
දෙවනි පංතිය රු. 4000.00
තුන්වන පංතිය රු. 3000.00
🛑කොළඹ කොටුව – නානුඔය
පළමු පංතිය රු. 4000.00
දෙවනි පංතිය රු. 3000.00
තුන්වන පංතිය රු. 2000.00
🛑කොළඹ කොටුව – මහනුවර
පළමු පංතිය රු.3000.00
දෙවනි පංතිය රු. 2000.00
තුන්වන පංතිය රු. 1500.00
🛑මහනුවර – නානුඔය
පළමු පංතිය රු.3000.00
දෙවනි පංතිය රු. 2000.00
තුන්වන පංතිය රු. 1500.00
අවසාන වශයෙන් විශේෂයෙන්ම මතක් කරන්න ඕනෙ දෙයක් තමයි, මේක අපි හැම කෙනෙක්ටම ලැබෙන අවස්ථාවක්. ඒ නිසා මේවා ආරක්ෂා කරගැනීම තමයි අපි හැමෝගෙම වගකීම. මේ දුම්රිය ගමනේ සුන්දරත්වය විඳින ගමන් තවත් කෙනෙක්ටත් ඒ අවස්ථාව ගන්න පුළුවන් විදියට ආරක්ෂා කරන්න කියලා කාරුණිකව ඉල්ලනවා.
සුබ දවසක්!
0 Comments