ඉන්දියාව සහ දකුණු කොරියාව කියන්නෙ ආර්ථික වශයෙන් සාර්ථක දියුණුවක් අත්පත් කරගත් රටවල් 2ක්. එම රටවල් 2 අතර සංවර්ධන පරතරය විශාල වුණත්, එම රටවල් දෙකම තම රටේ සම්පත් යොදා ගනිමින් ගෝලීය ආර්ථිකයේ ප්‍රධාන තරඟකරුවන් දෙදෙනෙකු බවට පත්ව තිබෙනවා. ඔවුන්ගේ සාර්ථකත්වය සඳහා හේතු වුණු සාධක අතරින් ප්‍රධානම සාධකයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (International Monetary Fund) ලැබුණු ණය පහසුකම හඳුන්වන්නට පුළුවන්. ඉතින් එම නිසා මෙම රටවල් වල හැරවුම් ලක්ෂය වුණේ IMF Loan එක ලෙස හැඳින් වූවාට වරදක් නෑ. ඉතා දරුණු ආර්ථික අර්බුදයකින් දැඩි ලෙස බැට කාපු ඔවුන් මෙම ණය පහසුකම මඟින් යළි හිස එසවීමට සමත් වුණා. මේ ලිපියෙන් අපි අද ඔබව දැනුවත් කරන්නේ ඉන්දියාව හා දකුණු කොරියාව IMF ණය පහසුකම ලබා ගැනීමෙන් පසු වැටී සිටි අගාධයෙන් ගොඩ ඇවිත් සාර්ථක වුණේ කෙසේද යන්නයි. ඒ වගේම ශ්‍රී ලංකාව අද වැටී සිටින තත්ත්වයෙන් යළි නැගී සිටීමට එම රටවල් වලින් ගන්න පුළුවන් උපදේශයන් මොනවාද යන්න පිළිබඳව දැනුවත් වෙමු.
පළමුවෙන්ම අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම සමඟ ඉන්දියාව ලැබූ ආර්ථික දියුණුව ගැන බලමු. ඉන්දියාවේ ආර්ථික ව්‍යසනය ඇරඹුණේ 1991 වර්ෂයේදී. ඒ සමඟම ඔවුන්ට ගෙවීම් කර ගැනීමට නොහැකිව අන්ත අසරණ වූ අතර අහස උසට නැගුණු ආර්ථික උද්ධමනය සහ සුවිශාල අයවැය පරතරය නිසා ඔවුන් තවත් පහළටම වැටුණා. වසර ගණනාවක් පුරාවට එම ආර්ථික බිඳ වැටීමෙන් සමස්ථ ඉන්දියාවම දරුණු ලෙස පීඩාවට පත් වුණා. නමුත් එකවර මෙම ආර්ථික අඝාධයෙන් ගොඩ ඒමට ඔවුන්ට අත්වැලක් ලැබුණා. එනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF)යි. ඉන්දියාව වෙන කරන්නට දෙයක් නොමැති තැන IMFහි සහය පැතීමට කටයුතු කරා. ඔවුන් බලාපොරොත්තු වූ පරිදි IMF ණය පහසුකම ලබා ගැනීමට ඔවුන්ට හැකි වූ අතර එය ඔවුන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දුන්නේ ඉතා දරඳඩු රළු කොන්දේසි ගණනාවකට යටත්වයි. එනම් ඉන්දියාව විසින් කොපමණ දුෂ්කර වුවත් ආර්ථික ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක කිරීමේ පොරොන්දුව මතයි. ඉන්දියාව විසින් සිදු කරපු එම ප්‍රතිසංස්කරණයන් මොනවාද යන්න දැන් අපි බලමු.
(1) විවෘත ආර්ථිකයක් ඇති කිරීම
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉන්දියාවට පනවනු ලැබූ ප්‍රධානම කොන්දේසිය වුණේ ඉන්දියානු ආර්ථිකය විදෙස් ආයෝජනයන්ට විවෘත කිරීමයි. ඉතින් ඉන්දියානු රජය වහාම ඊට ප්‍රතිචාර දක්වමින් විදෙස් ආයෝජනයන් සඳහා පනවා තිබූ සීමා මායිම් සියල්ලම ඉවත් කොට විදුලි සන්නිවේදන, රක්ෂණ සහ ගුවන් තරණ ක්ෂේත්‍රයන් සඳහා 100% සෘජු විදෙස් ආයෝජනයන් කිරීමට ඉඩ ලබා දීමට කටයුතු කරා. ඔවුන් සිදු කළ එම වෙනස නිසා විදෙස් ආයෝජනයන් දස දෙසින් ගලා ආ අතර රට තුළ රැකියා අවස්ථාද විශාල වශයෙන් බිහි වුණා.
(2) වෙළඳ බාධකයන් ඉවත් කිරීම
ආර්ථිකය විවෘත කරනවාට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය වුණා ඉන්දියාවේ වෙළඳ බාධකයන් අවම කිරීමට. ඉන්දියාව ඊට ප්‍රතිචාර දක්වමින් තීරු බදු සහ ආනයන බාධාවන් සියල්ලම වගේ ඉවත් කරා. ඒ සමඟම ආනයනයන් ඉහළ ගොස් තරඟකාරීත්වයද වැඩි වුණා. එහි ප්‍රතිලාභයක් ලෙස කර්මාන්ත වලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය වල පිරිවැය සැලකිය යුතු ලෙස අඩු වුණා. ඉතින් එම නිසා නිශ්පාදන පිරිවැයද විශාල වශයෙන් අඩු වුණා.
(3) රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීම
රාජ්‍ය සතු ආයතන පෞද්ගලීකරණය කිරීම IMF මගින් දැමූ තවත් කොන්දේසියක්. ඉතින් ඉන්දියාව ඊට ප්‍රතිචාර දක්වමින් රජය සතුව තිබූ භාරත් පෙට්‍රෝලියම් (Bharat Petroleum) සහ හින්දුස්ථාන් සින්ක් වැනි රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරා. එම ක්‍රියාමාර්ගයෙන් එම සමාගම් වල ඵලදායීතාවය වේගයෙන් ඉහළ ගියා. එම නිසා රජයට ඉහළ ආදායමක් ලැබීමට හැකි වුණා.
(4) රුපියල අවප්‍රමාණය කිරීම
අපනයනයන් ඉහළ නැංවීමේ අරමුණින් ඉන්දියාව තම රුපියල අවප්‍රමාණය කිරීමට කටයුතු කරා. ඒ සමඟම අපනයන තරඟකාරීත්වයක් ඇති වී විශාල අපනයන ආදායමක් ලබා ගැනීමට ඉන්දීය රජයට හැකි වුණා. ඉතින් අවසානයේදී ප්‍රධාන වශයෙන්ම ඉන්දියාවට විදෙස් ආයෝජන ගලාගෙන පැමිණියා. ඉතින් ඉන්දියාවේ වැටී තිබුණු ආර්ථිකයට නව පණක් ලැබුණා. ඉදිරි වර්ෂ වලදී දළ ජාතික නිශ්පාදන අගය වාර්ෂිකව 6%කින් වර්ධනය වුණා. ඉතින් අවසානයේදී ඉන්දියාව ගෝලීය ආර්ථිකයේ ප්‍රධාන තරඟකරුවෙකු වූ අතර මධ්‍යම පාන්තිකයන්ගේ වැඩි වීමක් සිදු වී තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විශාල පිබිදීමක් සිදු වුණා.
දකුණු කොරියාවේ ආර්ථික ව්‍යසනය සිදු වුණේ 1997 වර්ෂයේ දී. ඔවුන් සතු විදේශ මුදල් සංචිත විශාල වශයෙන් පහත වැටුණා. ඒ වගේම ආනයන සහ අපනයන පරතරය විශාල ලෙස ඉහළ ගියා. එපමණක් නොව ඒ සමාගම් ණය අහස උසට ඉහළ ගියා. අවසානයේදී දකුණු කොරියාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පතනවා හැර වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. ඔවුන් බලාපොරොත්තු වූ පරිදි ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට වූ පොරොන්දුව මත IMF ණය පහසුකමක් ලැබුණා. එය ලැබුණු පසු දකුණු කොරියාව ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු වහාම ආරම්භ කරා.
(1) මූල්‍ය අංශය ප්‍රතිව්‍යුහගත කිරීම
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දකුණු කොරියාවට පවසා සිටි පළමු කරුණ නම් මූල්‍ය ක්ෂේත්‍රය වහාම ප්‍රතිව්‍යුහගත කිරීමයි. දකුණු කොරියානු රජය වහාම දුර්වල මූල්‍ය ආයතන වසා දැමූ අතර බැංකු පද්ධතිය ඉහළ අධීක්ෂණයකට ලක් කරා. ඉතින් එම නිසාම මූල්‍ය ස්ථාවරත්වය වැඩි දුයුණු වුණා.
(2) වෙළඳ බාධකයන් ඉවත් කිරීම
ඉන්දියාවට මෙන්ම දකුණු කොරියාවටද වෙළඳ බාධකයන් ඉවත් කිරීමට සිදු වුණා. ඒ සමඟම ඉන්දියාවේ වගේම ආනයන තරඟකාරීත්වය වැඩි වී, කර්මාන්ත නිශ්පාදන පිරිවැය අඩු වුණා.
(3) සමාගම් පාලනය ඉහළ නැංවීම
දකුණු කොරියානු රජයේ සමාගම් සඳහා අලුත් නීති පද්ධතියක් හඳුන්වා දෙමින් එම ක්ෂේත්‍රය ඉහළ නැංවීමට වෙහෙසුනා. ඉන් සමාගම් කළමණාකාරිත්වයේ විවිධභාවය ඉහළ ගියා. ඒ වගේම එම සමාගම් වල දූෂණය අවම වී ඵලදායිතාවයද වේගයෙන්ම ඉහළ ගියා.
(4) පොදු අංශය විධිමත් ඵලදායි සේවාවක් කිරීම
එනම් පොදු අංශය විනිවිධභාවය හා විගණන හැකියාව ඉහළ නැංවීමයි. පොදු අංශයට හඳුන්වාදුන් නව නීති පද්ධතිය විසින් මෙම ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක් සිදු වුණා.
ඉතින් මෙන්න මේ විදියට තමයි ඉන්දියාව සහ දකුණු කොරියාව වැටී සිටි ආර්ථික අඝාධයෙන් ගොඩට පැමිණියේ.
ලංකාවේ දළ ජාතික නිෂ්පාදනය වසර ගණනාවක් එක තැන පල් වීම, රජයේ අයවැය පරතරය ඉහළ යෑම, ඒ වගේම දළ ජාතික නිෂ්පාදනයට සාපේක්ෂව රටේ විදේශ ණය ප්‍රමාණය ලෝකයේම වැඩිම අගයක් ගැනීම වැනි හේතූන් නිසා ලංකාව අද ලක්ව සිටින මෙම තත්ත්වයට ඇද වැටී තිබෙනවා. මේ රටවල් දෙකම එක්දහස් නවසිය අනූ ගණන් වල පැවතුනේ අද ලංකාව පසුවන තත්ත්වයේමයි. ඉතින් ලංකාවටද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලැබෙන පසුබිමක මේ ආර්ථික අඝාධයෙන් නැගී සිටීමට සැබෑම හැකියාවක් තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා රජය කඩිනමින් ආර්ථික ප්‍රතිසංස්කරණයන් ස්ථාපිත කළ යුතුයි. එමගින් පළමු වශයෙන්ම අයවැය පරතරය අඩු කර ගැනීම, විදෙස් ආයෝජන වැඩි කර ගැනීම සහ රට තුළ සුදුසු ව්‍යාපාරික වටපිටාවක් සැකසීම වැනි දේවල් සිදු කළ යුතුයි. ඒ වගේම පොදු අංශයේ විනිවිදභාවයක් හා නිවැරදි විගණනයක් ඇති කළ යුතුයි. තවද ශ්‍රී ලංකාව සතු වටිනා සම්පතක් වුණු සංචාරක ක්ෂේත්‍රය ඉහළ නැංවීමට කටයුතු කිරීමත් වඩාත් වැදගත් වෙනවා. මොකද අප රටේ වූ ස්වභාව සෞන්දර්‍ය සහ සංස්කෘතික උරුමයන් වලට ලොව පුරා සංචාරකයින්ගේ විශාල උනන්දුවක් තිබෙනවා. ඉතින් එම නිසා සංචාරක ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් ඉහළ නංවා එම ක්ෂේත්‍රය වර්ධනය කිරීමෙන් විශාල ආර්ථික සහනයක් ළඟා කර ගැනීමට පුළුවන්. එසේ නොමැති වුණොත් අපට සිදු වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගත්තද, එම ණය පහසුකම ලබාගෙනද කබලෙන් ලිපට වැටුණු රටවල් ලැයිස්තුවට ඇතුළත් වීමට සිදු වීමයි. ඒවා ආර්ජන්ටිනාව, ග්‍රීසිය, ඉක්වදෝරය, ජැමෙයිකාව වැනි රටවල් වේ. උදාහරණයක් විදියට ආර්ජන්ටිනාවට තමයි ඉතිහාසයේ වැඩිම IMF ණය ලැබුණේ. එනම් 2018 වර්ෂයේදී ලැබුණු ඩොලර් බිලියන 57ක මුදලයි. නමුත් එම ණය මුදල සමඟ පැන නැගුණු කොන්දේසි සපුරන්නට යාමේදී මහජනයා කැළඹී කලකෝලාහල ඇති වී දැඩි ආර්ථික දුෂ්කරතාවයන්ට පත් වුණා. ඉතින් ලංකාවට එවැනි ඉරණමක් නොවේවා කියා අපි ප්‍රාර්ථනා කරමු.
0 Comments