සිංහයාගෙන් උගත හැකි විශ්වාසයේ පාඩම | Confidence Lesson from the Lion | time2talk

අපිට ජීවිතේ ඉ‌ගෙන ගන්න තියෙන්නේ මිනිස්සුන්ගෙන් විතර ද? අපිට සත්තු දිහා බලලා ඉ‌ගෙන ගන්න ‌යමක් නැති ද? අනන්ත අප්‍රමාණවත් එවැනි ‌කාරණා අපේ ‌ඇසට ‌‌නෙත ගැටෙනවා. නමුත් ඒවා පාඩම් විදියට අපගේ මනසට යන්නේ නෑ. ඒ නිසා තමයි අපි අද හිතුවේ සිංහයාගෙන් අපට ඉ‌ගෙන ගන්න යමක් තියෙනවා ‌ද කියන එක ඔබ‌ගේ ‌මතකයට ගේන්න. බලන්න. විශ්වාසය පිළිබද සිංහයා අපට උගන්වන පාඩම ‌මොකක් ද කියලා.

කණ්නාඩිය ඉස්සරහට ගිහින් හිටගත්තම ඔබට ඔබව පේන්නෙ මොන විදියටද? ඔබට ඔබව දැනෙන්නෙ මොන විදියටද? කණ්නාඩියේ ඔබේ ප්‍රතිරූපය මතු වෙනකොට ඔබට ඒක දැනෙන්නෙ මොන විදියටද කියලා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? ඔබ දන්නවද සිංහයා කියන සතාව කැලෑවෙදි දකිනකොට අනිත් සත්තුන්ට මොනවද හැඟෙන්නෙ කියලා? අනිත් සියලුම සතුන් සිංහයාව දැක්කම දුවනවා. ඒ වගේම සිංහයාට කැලෑවෙ රජ්ජුරුවො විදියට ගරු කරනවා. මේ ලෝකෙ හැම තැනකින්ම ඉගෙන ගන්න දේවල් තියෙනවා. ස්වභාදහමත් අපට අපූරු පාඩම් උගන්වනවා. සතුන්ගෙ ලෝකෙ රජා වෙන සිංහයාට අනෙකුත් සියළුම සතුන් ගරු කරන්නෙ ඇයි? මුළු කැලෑව පුරාම අනෙකුත් සියළුම සතුන් අභිබවමින් සිංහයාට නායකයා ලෙස නමක් පටබැඳිලා තියෙන්නෙ ඇයි? රජ්ජුරුවො කියලා හඳුන්වන්නෙ ඇයි? අනෙකුත් සියළුම සතුන් සිංහයා හමුවේ යටපත් වෙන්නෙ ඇයි? ඔබ කලින් මේ ගැන හිතලවත් තියෙනවද? ජීවිතයේ කිසියම් හෝ අවස්ථාවක සිංහයාගෙන් ජීවිතයට යමක් ගන්න ඔබට හැකියාවක් ලැබිලා නැත්නම් ඒ ගැන ඔබට කියාදෙන්නයි අද ලිපිය ඔබට ඉදිරිපත් කරන්නේ. සිංහයෙක් වගේ ජීවත් වෙන්න. සිංහයාගෙන් ජීවිතයට යමක් ගන්න.

සිංහයා කැලේ නායකයා විදියට හැමෝම අඳුරගන්නවා. මොකක්ද සිංහයාට කැලෑවෙ නායකත්වය දරන්න තියෙන සුදුසුකම? නායකයෙක් වෙන්න මොකක්ද සිංහයා සතුව තිබෙන ලොකුම සුදුසුකම? නායකයෙක් විදියට වැඩ කරන්න අත්‍යාවශ්‍යම වෙන ආයුධය සිංහයා සතුව තියෙනවා. ඒ Spirit එක තියෙනවා. ඔබ හිතන්නෙ මේ Spirit එක මොකක් කියලද? ඒ තමයි අපි හැමවිටම කතා කරන Attitude එක. එහෙම නැත්නම් ආකල්පමය සාධකය.

සිංහයා හමුවේ අනිත් හැම සතෙක්ම පිටිපස්සට යනවා. ඔබ නිකමට කල්පනා කරලා බලන්න. කැලේ ඉන්න උසම සතා ජිරාෆ් මිසක් සිංහයා නෙවෙයි. උසින් ගත්තම වැඩිම උසක් තියෙන සතා සිංහයා නෙවෙයි. ඒ වගේම කැලේ ඉන්න විශාලතම සතා අලියා මිසක් සිංහයා නෙවෙයි. ඒ වගේම කැලේ ඉන්න ශක්තිවන්තම සතා, ඇතැම්විට Heaviestම සතා රයිනෝසිරස් මිසක් සිංහයා නෙමෙයි. ඇතැම්විට කැලේ ඉන්න නුවණක්කාරම, Smartest ම සතා නරියෙක් හෝ වෘකයෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒ සිංහයා නෙමෙයි. හැබැයි මේ සත්තු ඔක්කොම සිංහයාව දැක්කම දුවනවා. ඇයි? තමන් පිළිබඳ සිංහයා සිතන ආකාරය, ඒ ආකල්පමය සාධකය තමයි ඒකට හේතුව. ඔබට ඒ බව පැහැදිලි කරන්න උදෘත උපුටනයක් සම්බන්ධ කරගන්න අපි හිතුවා. නැපෝලියන් බොනපාට් කියන ශ්‍රේෂ්ඨ රණකාමියා වරක් කියනවා, “ඔබ සිංහයන් සිය දෙනෙකුගේ නායකත්වය එක සුනඛයෙකුට පවරනු ලැබුවහොත්, සිංහයින් සිය දෙනාම යුධ බිමේදී සුනඛයින් සේ මියදෙනු ඇත. ඒ වගේම ඔබ සුනඛයින් සිය දෙනෙකුගේ බලකායක් තනා එහි නායකත්වය සිංහයෙකුට ලබා දුනහොත් සුනඛයින් සිය දෙනාම යුධ බිමේදී සිංහයින් සේ සටන්වදිනු ඇත” කියලා. ඔබට තේරෙනවද, සිංහයෙක් නායකත්වය ලබා දෙන දෙනකොට, සිංහයා කණ්ඩායම මෙහෙය වනකොට ප්‍රතිඵලය කොයි තරම් වෙනස් වෙන්නට පුළුවන්ද කියලා. මේ හා සමාන තවත් කියමනක් තිබෙනවා. ඒ තමයි, “බැටළුවන් සිය දෙනෙකුට නායකත්වය දෙන සිංහයෙකුට, සිංහයන් සිය දෙනෙකුට නායකත්වය දෙන බැටළුවෙකුගේ යුධ කණ්ඩායමක් පරාජයට පත් කරන්න පුළුවන්” කියලා. මෙතන කියවෙන්නෙත් ඒ ආකල්පමය සාධකයමයි.

ටිකක් හිතන්න. ඇයි මේ ආකල්පමය සාධකය සිංහයාට මේ තරම් හොඳින් ප්‍රතිඵල අත්පත් කර ගැනීමට වැදගත් වෙන්නෙ? සිංහයා කියන සතාට ඉතාමත්ම උසින් යුතු, තමාට වඩා ශරීර බරින් යුතු ඒ වගේම තමාට වඩා ශක්ති සම්පන්න භාවයෙන් යුතු අලියෙක් දැක්කම මොනා හිතනව ඇත්ද? ඌට මොනව දැනෙනව ඇත්ද? ඌ කල්පනා කරන්නෙ එක දෙයයි. “අන්න මගෙ ආහාරය තියෙනවා. මට මෙයාව කන්න පුළුවන්, මට මෙයාව ගොදුරු කරගන්න පුළුවන්, අද මට මෙයාගෙන් බඩගින්න නිවාගන්න පුළුවන්” අලියෙක්ව දැක්කම සිංහයෙක්ට හැඟෙන්නෙ, දැනෙන්නෙ එහෙම. ඒ වගේම වඩාත්ම පුදුම සහගත කාරණාව වෙන්නෙ, අලියා සිංහයාට වඩා උසයි. අලියා සිංහයාට වඩා බරයි. ඒ වගේම අලියා සිංහයාට වඩා ශක්ති සම්පන්නයි. නමුත්, අලියට සිංහයෙක් දැක්කම බය හිතෙන්නෙ ඇයි? ඇයි අලියෙක් සිංහයෙක්ව දැක්කම දුවන්නෙ? වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි. අලියට දැනෙන්නෙ, මේ සතාට මාව ගොදුරක් බවට පත් විය හැකියි. මේ සතාට මාව ආහරයක් බවට පත් විය හැකියි. මෙන්න මේ කියන සාධකය තමයි සිංහයාව ජයග්‍රහණය කරා ගෙනියන්නෙ. අලියාට සිංහයා කෙරෙහි බියක් ජනිත කරවන්නෙ. වෙන කිසිම දෙයක් නෙමෙයි. ඒ නිසා ඔබ මතක තියාගන්න, ඔබේ විශ්වාසයන් තමයි ඔබේ ආකල්පයන් බවට පත් වෙන්නෙ. අලියට දැනෙනවා මේ සිංහයා මාව ගොදුරු කරගනී කියලා. ඒ වගේම සිංහයාට දැනෙනවා මට අලියව ගොදුරු කර ගැනීමට හැකියි කියලා. ඒ නිසා කොතරම් ශක්ති සම්පන්න වුණත්, කොතරම් බලසම්පන්න වුණත්, කොතරම් උසින් යුතු වුණත් අලියා සිංහයා හමුවේ පරදිනවා. අනිත් සියළුම සතුන් හමුවේ සිංහයා ප්‍රබලයා බවට පත් වෙන්නේ ඔන්න ඔය කාරණාව නිසා.

ටිකක් හිතන්න, ඔබ තුළ කොතරම් දුරට සිංහයා තුල තිබෙන මේ Spirit එක තියෙනවද? ඔබ අභියෝගයක් දැක්කම කොතරම් දුරට එය යටපත් කර ගත හැකි යැයි විශ්වාස කරනවද? විභාගයක් දැක්කම ඒක පරාජය කරන්න, ඒ අභියෝගය ජයගන්න පුළුවන් සහ මේ විභාගය දිනන්න පුළුවන් කියන විශ්වාසය ඔබ තුළ ඇති වෙනවාද? රැකියාවේ උසස්වීමක් ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා නම්, ඒ පුරප්පාඩු වෙලා තියෙන ඉහළ පුටුව යම්කිසි දවසක මට පුරවන්න පුළුවන් කියන විශ්වාසය ඔබට තියෙනවාද? ජීවිතයේ යම් කිසි ඉලක්කයක් තියෙනව නම්, මට ඒ ඉලක්කය ජයගන්න පුළුවන් කියන විශ්වාසය ඔබ තුළ තිබෙනවාද? අන්න ඒ කාරණාව මත පමණක් ඔබට ජයග්‍රහණ වලට යන්නට හැකිද, නොහැකිද කියන කාරණය තීරණය වෙනවා.

රූපවාහිනියෙ කාටූන් එකක් විදියට ගියපු මේ කතාව ඔයාටත් මතක ඇති. ඒ කාටූන් එකේ ඉන්නෙ පුංචි මී පැටියෙක්. මේ මී පැටියා හැමදාම තමන්ගෙ ගස් බෙනයෙන් එළියට ඇවිත් කෑම හොයාගෙන එන්න යනකොට එක දවසක් ඒ අවට ඉන්න පූසෙකුගෙ හඬකට බය වෙලා ආපහු බයෙන් දුවන් ඇවිත් ගස් බෙනේට රිංගනවා. ඒ ගමනෙදි මී පැටියව කටු පඳුරු වල පැටලෙනවා. ඌට තුවාල වෙනවා. ඌ ගස් බෙනේට රිංගලා බයෙන් ගැහි ගැහී ඉද්දි මේ ගහේ ඉන්න වෘක්ෂ දේවතාවට මේ මී පැටියා දැක්කම දුක හිතෙනවා. වෘක්ෂ දේවතාවා මී පැටියගෙන් අහනව පූසගෙ හඬට බය වෙලා දිවුවෙ ඇයි කියලා. ඒ වෙලාවෙ මී පැටියා කියනවා පූසට බය නිසා කියලා. දේවතාවා ආයෙත් මී පැටියගෙන් අහනවා ඇයි පූසන්ට බය කියලා. ඌ කියනවා, “දේවතාවන් වහන්ස තේරුම් ගන්න. පූසන්ට මීයො බයයි” කියලා. දැන් දේවතාවා විකල්පයක් විදියට මේ මී පැටියව පූසෙක් බවට පරිවර්තනය කරනවා. එතකොට ඊළඟ දවසෙ කෑම හොයාගෙන අර බෙනෙන් පිටත් වෙන්නෙ මී පැටියෙක් නෙමෙයි. පූසෙක්. එතකොට අනිත් පූසා කෑගහන සද්දෙ ඇහිලා මේ හොඳින් වැඩුණු පූසා වෙනදා වගේම බය වෙලා දුවගෙන ඇවිත් ගස් බෙනේට රිංගනවා. දේවතාවට හරි පුදුමයි. දැන් මේ පූසා තවත් පූසෙක්ගෙ හඬට බය වෙන්නෙ ඇයි? ඊට පස්සෙ මේ දේවතාවා පූසෙක් කරපු මී පැටියව බල්ලෙක් බවට පත් කරනවා. ඊළඟ දවසෙ ගස් බෙනෙන් පිට වෙලා යන්නෙ මීයෙක්වත්, පූසෙක්වත් නෙමෙයි. බල්ලෙක්. ඒත් ඒ බල්ලා එදත් අර පූසගෙ හඬ ඇහුනම ආයෙත් දුවගෙන එනවා. මේ දවසෙ දේවතාවා තවත් වරමක් දෙනවා. පූසෙක් විදියට, බල්ලෙක් විදියට වෙනස් කාපු මීයව ඊළඟට සිංහයෙක් බවට පරිවර්තනය කරනවා. දැන් සිංහායා බොහොම උජාරුවෙන් ගොදුරු හොයාගෙන යන්න ගස් බෙනෙන් එළියට එනවා. නැවතත් අර පූසා කෑගහනවා. සිංහයා ආයෙත් අටු පඳුරු වල පැටලෙමින්, වැටි වැටී හයියෙන් දුවගෙන ඇවිත් බෙනේට රිංගන්න උත්සාහ කරනවා. දේවතාවා කම්පාවට පත් වෙලා හිතනවා ඇයි ඔබව සිංහයෙක් බවට පත් කළත් තාමත් පූසෙකුගෙ හඬට බය කියලා. ඔබව කොතරම් පරිභාහිරව සිංහයෙක් බවට පත් කළත් තාමත් ඔබ තුළ තිබෙන්නේ ඔබ මීයෙක් කියන විශ්වාසය. ඒ නිසයි ඔබ මේ ආකාරයෙන් බියට පත් වෙන්නෙ. ඔබේ ශරීරය කොතරම් වෙනස් කරත් ඔබේ විශ්වාසයන් වෙනස් වන්නේ නැතිනම් ඔබට කවදාවත් ඔය බියෙන් ජයගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඔබට කවදාවත් රජ වෙන්නට ලැබෙන්නෙත් නැහැ. මේ දේවතාවා ඒ කාටූනය ඇතුලෙ අර මී පැටියට කියලා දෙනවා.

මේ සියල්ලෙම අනුසාරයෙන් මට ඔයාට කියන්න ඕනෙ වුණේ ඔයා කණ්නාඩිය ඉස්සරහට ගිහින් බලද්දි ඔයා ඉලක්ක ජයග්‍රහණය කරන්න පුළුවන් පුද්ගලයෙක් කියලා ඔයාට පේන්නෙ නැත්නම් ඔයා ඉලක්ක ජයග්‍රහණය කරන්න පුළුවන් පුද්ගලයෙක් කියලා ඔයාගෙ වටේ ඉන්න කවුරුවත් දකින්නේ නෑ. එහෙම හිතන්න පුළුවන් නම් විතරයි ඔබට සිංහ මානසිකත්වයෙන් ජයග්‍රාහී ලීලාවෙන් ඉලක්ක කරා යාමට හැකියාව ලැබෙන්නේ. ඒ නිසා හොඳින් මතක තියාගන්න, සිංහයා කැලෑව ඇතුළෙ රජ වෙන්නෙ වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි. එය ලඟ තියෙන ලොකුම Spirit එක, ඒ Attitude එක නිසා. ඒ Attitude එක හෙට දවසේ ඔබව මොන තැනට ගෙනයාවිද?

ඔබට ජය!

Share this article on

Let’s talk about us!

ඔබගේ දැන්වීම් ප්‍රචාරණය සිදු කරගන්නා ආකාරය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට WhatsApp ඔස්සෙ සම්බන්ධ වන්න

Subscribe

අප විසින් පලකරනු ලබන ලිපි සහ අනෙකුත් විශේෂාංග පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීම සඳහා අපගේ Email ලැයිස්තුවට සම්බන්ධ වන්න

About the Author

Shanika Sewwandi

Follow Us

Your Thoughts…

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *