විටමින් E මගින් ලස්සන වෙන රහස් ක්‍රම 09ක් | Beauty Benefits of Vitamin E

by | Sep 13, 2023 | 5 | 0 comments

කාන්තා පිරිමි භේදයකින් තොරව අපි හැමෝම ආසයි ලස්සනට ඉන්න. විශේෂයෙන්ම වයසට යන්නෙ නැතුව තරුණ බව හැමදාටම පවත්වගන්න අපේ කාන්තාවන් විශාල උත්සාහයක් ගන්නවා. මේ සඳහා ඔවුන් කරන්නෙ වෙළඳපොළේ විකිණීමට තිබෙන මිල අධික කෘතිම රූපලාවන්‍ය නිශ්පාදන භාවිත කිරීම. ඇත්තෙන්ම එය අනවශ්‍ය ලෙස මුදල් නාස්ති කර ගැනීමක් විතරයි. මොකද ලස්සන වෙනවා, තරුණ වෙනව කියලා කියන වෙළඳපොලේ විකුණන බොහෝ නිශ්පාදන වලින් ඇත්තටම ලැබෙන ප්‍රතිඵලයක් නෑ. අන්න ඒ නිසා අද අපි ඔයාලට කියලා දෙනවා විටමින් E කරල් මගින් ලස්සන වෙන ක්‍රම 9ක් ගැන. මෙ විටමින් E කරල් ඕනෑම ෆාමසියකින් බොහොම අඩු මුදලකට මිල දී ගන්න පුළුවන්.

(1) ඇස් යට කළු වීම් වලක්වා ගන්න පුළුවන්
විටමින් E කරල් යොදා ගනිමින් අපි කරන්න යන පළමු රූපලාවන්‍ය සත්කාරය තමයි ඇස් යට කළු පැහැ වීම් ඉවත් කර ගැනීම. ඇත්තටම ඇස් යට කළු පැහැවීම් ඉවත් කරගන්න විටමින් E කරල් කියන්නෙ හොඳම බෙහෙතක්. මේ සඳහා විටමින් E කරලක් අරගෙන එයින් බිංදු 2ක් අතේ වෙදැඟිල්ලට අරගෙන බොහොම මෘදු ලෙස ඇස් වල කලු වූ ප්‍රදේශයේ ආලේප කරලා විනාඩියක් විතර මෘදුව සම්භාහනය කරන්න. මේ වැඩේ කරනකොට අනිවාර්‍යයෙන්ම වෙදඟිල්ල භාවිතා කරලා තමයි විටමින් E ඇස් යට ආලේප කරගන්න ඕනෙ. ඒකට ලොකු හේතුවක් තියෙනවා. මොකද, ඇස් අවට සම බොහොම මෘදු සංවේදී සමක්. අන්න ඒ නිසා විටමින් E සම්භාහනය සඳහා අපේ අතේ අනිත් ඇඟිලි යොදාගත්තෝතින් ඒ මෘදු සම මත වැඩි බලයක් යෙදිලා හානි සිදු වෙන්න පුළුවන්. මෙන්න මේ නිසා තමයි වෙදැගිල්ල මේ සඳහා යොදා ගන්නෙ. හැමදාම රෑට නිදාගන්න කලින් මේ වැඩේ කරන්න පුළුවන් නම් බොහොම ඉක්මනින්ම ගොඩක් හොඳ ප්‍රතිඵල ලබාගන්න හැකියාව තියෙනවා.

(2) ඉරිතැළුණු සහ කළු පැහැ ගැන්වුණු තොල් රෝස පාට කර ගැනීමට
කාන්තාවක් ලස්සන වෙන්නෙ නා දළු වගේ දෙතොලක් තියෙනකොට කියලා කතාවක් ඔයත් අහලා ඇති. හැබැයි අද කාලෙ පරිසා දූෂණය හා නරක ආහාර පුරුදු එක්ක දෙතොල් පරිස්සම් කරගන්න එක හරිම අමාරු වෙලා තියෙනවා. මේ නිසා බොහෝ කාන්තාවන්ගේ තොල් අඳුරු පැහැයට හැරීම හා පුපුරා යාමක් සිද්ධ වෙනවා. මෙන්න මේ අවලස්සන තත්ත්වය නැති කරගන්න විටමින් E මඟින් අපූරු සත්කාරයක් කර ගැනීමට පුළුවන්. මේ සඳහා විටමින් E කරලකින් යුෂ බිංදුවක් ඔබේ අතේ පහසු ඇඟිල්ලකට මිරිකාගෙන ඉන්පසු එම ඇඟිල්ල දෙතොල් මත වක්‍රාකාරයෙන් චලනය කර විනාඩියක් පමණ සම්බාහනය කරන්න. මෙම සත්කාරය එක් වරක් සිදු කිරීමෙන්ම පමණක් ඔබේ තොල් වල නැති වී ගිය රෝස පැහැය යළි මතු වී ඉරිතැලීම් සියල්ලම සුව වී යනවා. ඔබ කැමති නම් මේ සමඟ මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර වුවද දෙතොල් සම්බාහනය කළ හැකියි.

(3) අත් සිනිදු කර ගැනීමට
අත් වල, විශේෂයෙන්ම අල්ල ආශ්‍රිත ප්‍රදේශය රළු වීම කාන්තාවකට කිසිසේත්ම ගැළපෙන්නේ නැහැ. ඔබත් එලෙස රළු දෑතක් හිමි කාන්තාවක් නම් විටමින් E මඟින් බොහොම පහසුවෙන් දෑත් සිනිදු කරගන්න ඔබට පුළුවන්. මේ සඳහා ඔබේ අල්ල මතට පිරිසිදු පොල්තෙල් බිංදු කීපයක් අරගෙන ඒකට විටමින් E බිංදු දෙකක් දාලා දෑතට හොඳින් වදින සේ අල්ලවල් දෙක එකට පිරිමදින්න. පසුව අත්දෙක වටාම එය පතුරුවන්න. මෙම සත්කාරය නිතර සිදු කිරීම මගින් කුඩා දරුවෙකුගේ සේ දෑත් සිනිදු කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.

(4) සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමට
ඔබේ මුහුණ අවට සම ඉතාම වියළි නම් විටමින් E කියලා කියන්නෙ ඒ ප්‍රශ්නෙට මේ ලෝකෙ තියෙන හොඳම විසඳුම කිවුවොත් හරි. සමේ තෙතමනය නිසි ලෙස පවත්වගෙන යන්න විටමින් E වලට තියෙන්නෙ පුදුමාකාර හැකියාවක්. මේ රූපලාවන්‍ය සත්කාරය කර ගන්න නම් ඔයාට ග්ලිසරින් බිංදු 5ක් එක්ක විටමින් E බිංදු 3ක් ඕනෙ වෙනවා. මේ දෙවර්ගය මුලින්ම හොඳට මිශ්‍ර කරලා රාත්‍රියේ නිදාගන්න යන්න කලින් ඔයාගෙ මූණෙ ආලේප කරන්න. සාර්ථක ප්‍රතිඵල ලැබෙන තුරු දිනපතාම මේ සත්කාරය කළ යුතුමයි. ඒ වගේම මේ මිශ්‍රණය ආලේප කරන්න කලින් සමේ තියෙන කුණු, දූවිලි වගේම මේකප් ආදිය හොඳින් සෝදා ඉවත් කරගන්නත් මතක තියාගන්න.

(5) ඇස් අවට රැලි වැටීම් මකා ගැනීමට
වයසට යාමත් එක්ක අපේ ශරීරය රැලි වැටෙන්න පටන් ගන්නවා. මේක ඉතාම අවලස්සන තත්ත්වයක්. මේ රැලි වැටීම් සිරුර තුළ මුලින්ම ආරම්භ වෙන්නෙ අපේ ඇස් අවට ප්‍රදේශ වලින්. ඉතින් ඇස් අවට රැලි වැටීම යම් කාලයකට හරි පරක්කු කරගන්න පුළුවන් නම් වැඩි කාලයක් තරුණ පෙනුමකින් ජීවත් වෙලා ඉන්න අපිට අවස්ථාව ලැබෙනවා. විටමින් E මගින් ඇස් අවට රැලි වැටීම් ඉතාම සාර්ථක විදියට මකාගන්න පුළුවන්. මේ සඳහා ඔලිව් තෙල් හා විටමින් E බිංදු 3 බැගින් අරගෙන හොඳින් මිශ්‍ර කරලා අතේ වෙදැඟිල්ල භාවිතා කරලා ඇස් අවට රැලි වැටුණු ප්‍රදේශ වල බොහොම මෘදුව ආලේප කරන්න. ඉන්පසුව විනාඩියක කාලයක් සෙමින් සම්බාහනය කරන්න.

(6) කුරුලෑ සුව කර ගැනීමට
විශේෂයෙන්ම ඔබ තෙල් අධික සමක් තියෙන කෙනෙක් නම් ඔබ කුරුලෑ නිසා ගොඩක් පීඩා විඳලා ඇති. හැබැයි විටමින් E භාවිතා කරලා මේ කුරුලෑ ප්‍රශ්නයටත් ඔබට විසඳුමක් ගන්න පුළුවන්. විටමින් E වලට අමතරව T3 Oil (තේ ගසෙන් සිඳගත් තෙල්) ඔබට ඒ සඳහා අවශ්‍ය වෙනවා. අපි මේ කියන T3 Oil ඕනෙම සුපර්මාකට් එකක විකුණන්න තියෙනවා. Essential Oil වර්ග තියෙන රාක්කෙ බැලුවොත් ඉක්මනින්ම ඔයාට හොයාගන්න පුළුවන්. මේ සත්කාරය කරගන්නෙ මෙන්න මෙහෙමයි. මුලින්ම T3 Oil බිංදු 3ක් එක්ක විටමින් E බිංදු 3ක් කලවම් කරලා කුරුලෑ මත සෙමින් ආලේප කරන්න. මෙය ඔබට බොහොම පහසුවෙන් ඕනෑම වෙලාවක සිදු කරගන්න පුළුවන්. ඇත්තෙන්ම මේ සත්කාරයෙන් ඔබට දින 3ක් 4ක් වගේ බොහොම කෙටි කාලයක් ඇතුළත සතුටුදායක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. ඒ වගේම මෙමඟින් කුරුලෑ කැඩී යෑම නිසා සම මත ඇති වී තිබෙන අවලස්සන කළු ලප කැලැල් ආදියත් මැකී යාම සිද්ධ වෙනවා.

(7) සමේ තරුණ බව වර්ධනය කර ගැනීමට

විටමින් E මගින් සම තිරිහන් කරගන්න පුළුවන් කියලා කිවුවොත් ඔබ ඇත්තටම පුදුම වේවි. ඔව්. මෙක ඇත්ත කතාවක්. විටමින් E කියලා කියන්නෙ බොහොම ඉහළ ප්‍රතිඔක්සිකාරක බලයක් තියෙන දෙයක්. අපේ සම අකලට වයසට යාම සිද්ධ වෙන්නෙ නිදහස් අණු වල බලපෑම නිසයි. ඉතින් විටමින් E වල ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයක් අඩංගු වෙලා තියෙනවා. ඒ ගුණය මගින් සම මත ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරන නිදහස් අණු විනාශ කර දැමීම සිද්ධ කරනවා. එහි ප්‍රතිඵලයක් විදියට අපිට බොහෝ කාලයක් යනකල් අපේ සමේ තරුණ බව ආරක්ෂා කරගෙන බොහොම ලස්සනට ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා. මෙ සත්කාරය සිදු කරගන්න නම් කෝමාරිකා මදය හා විටමින් E සමාන ප්‍රමාණ වලින් මිශ්‍ර කරගත යුතුයි. සෑම දිනකම තෙතමනකාරකයක් නැත්නම් මොයිස්චරයිසර් එකක් විදියට භාවිතා කිරීමටත් පුළුවන්. විශේෂයෙන්ම කෝමාරිකා තුළ අඩංගු වන මැලික් කියන අම්ලය මගින් සමේ ඇදෙනසුළුභාවය වර්ධනය කරලා රැලිවැටීම් ආදිය මකා දැමීම සිද්ධ කරනවා. ඉතින් විටමින් E සතු සම තිරිහන් කිරීමේ බලය නිසා වෙළඳපොළේ විකිණීමට තබා තිබෙන බොහෝ Anti-aging රූපලාවන්‍ය නිශ්පාදන වල ප්‍රධාන අමුද්‍රව්‍යක් විදියට විටමින් E ඇතුළත් කරලා තියෙනවා.

(8) හිසකෙස් වර්ධනය කර ගැනීමට
අද කාලෙ කාන්තාවන් බොහෝමයකට හිසකෙස් සම්බන්ධ ප්‍රශ්න තියෙනවා. හිසකෙස් ගැලවී යාම, තුනී වීම, අගිස් පැලීම, හිසකෙස් අවුල් වීම සහ වියළී යාම, අකලට හිසකෙස් සුදු වීම ආදී හිසකෙස් සම්බන්ධ ගැටළු විටමුන් E භාවිතයෙන් සුව කර ගැනීමට පුළුවන්. මේ සඳහා විටමින් E කරලක යුෂ සමඟ පොල්තෙල් හා එඬරු තෙල් මේස හැන්ද මගින් කලවම් කරලා මිශ්‍රණයක් සකසාගත යුතුයි. ඊටපස්සෙ ඩබල් බොයිල් ක්‍රමයට මදක් උණුසුම් කරගෙන කේශමූල වලට හොඳින් වදින විදියට හිස්කබලේ ආලේප කරන්න. මේ විදියට හැමදාම රාත්‍රී නින්දට යාමට කලින් ආලේප කරලා ඔබ කැමති නම් පසු දින උදේ සෝදා හැරීම සිදු කරන්න. විටමින් E සතු ප්‍රබල ප්‍රතිඔක්සිකාරක බලය මගින් ඔක්සිකාරක ආතතියට ලක් වූ සියලු කේශ මූල නැවත නීරෝගි බවට පත් කිරීම සිද්ධ කරනවා. කේශ මූල ගැඹුරින් පිරිසිදු වීම නිසා හිසකෙස් අග සිට මුල දක්වාම නීරෝගී වීමට පටන් ගන්නවා. හිසකෙස් ගැලවී යාම ඉන් නවතිනවා. ඒ වගේම තමයි එඬරු තෙල් කියලා කියන්නෙත් තුනී හිසකෙස් ඝණව හා ශක්තිමත්ව වවන පෝෂණීය තෙල් වර්ගයක්. එම නිසා මේ සත්කාරය ඔයා නිවැරදිව දිනපතා සිදු කරොත් ඔයාට ඉතාම කෙටි කාලයක් තුළ සතුටුදායී ප්‍රතිඵල ඔයාගෙම දෑසින් බලාගන්න පුළුවන් වේවි.

(9) සම පැහැපත් කර ගැනීමට
සම පැහැපත් කරන මේ විටමින් E සත්කාරය ඕනෑම වර්ගයේ සමකට ගැළපෙන එකක්. විශේෂයෙන්ම ඔයාගෙ මූණෙ ලප කැලැල් ආදිය තියෙනව නම් විටමින් E මගින් ඒවාද මකා දැමීම සිදු කරනවා. මේ සත්කාරය සිදු කරගැනීමට කහ, රෝස වතුර, මී පැණි හා වවිටමින් E කරලක යුෂ අවශ්‍ය වෙනවා. මුලින්ම ඔයාගෙ මුහුණේ ආලේප කිරීමට අවශ්‍ය වෙන තරමේ කහ ස්වල්පයක් කුඩා භාජයකට දාගන්න. ඊට පස්සෙ ඒකට රෝසවතුර ස්වල්පයක් හා මී පැණි මේස හැන්දක් එකතු කරලා මිශ්‍ර කරගන්න. අන්තිමේදි විටමින් E කරලේ යුෂද මේකටම එකතු කරලා මිශ්‍ර කරගෙන පින්සලක් ආධාරයෙන් මුහුණෙ ආලේප කරගන්න. ඉනාඩි 20ක් 30ක් වගේ තියලා ඒක සෝදලා හරින්න. කහ සහ මී පැණි සතු ක්ෂුද්‍ර ජීවි නාශක හැකියාව මගින් සම මත වර්ධනය වී ඇති ආසාදන සියල්ල සුව වීම සිද්ධ වෙනවා. රෝස වතුර සම පිරිසිදු කරන ටෝනර් එකක් විදියට ක්‍රියා කරන අතරම විටමින් E සතු ප්‍රතිඔක්සිකාරක බලය මගින් සමේ ඇදෙනසුළුභාවය වර්ධනය කරලා සමට බොහොම දිදුලන පැහැපත් බවක් එකතු වෙනවා.

එහෙම නම් මීට පස්සෙ ලස්සන වෙන්න කියලා බොරුවට කෘතිම නිශ්පාදන වලට සල්ලි වියදම් කරන්න එපා. ලස්සන වෙන්න ඔයාට ඕනෙ වෙන්නෙ බොහොම පහසුවෙන් ගන්න පුළුවන් විටමින් E කරලක් විතරමයි.

Share this article on

Let’s talk about us!

ඔබගේ දැන්වීම් ප්‍රචාරණය සිදු කරගන්නා ආකාරය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට WhatsApp ඔස්සෙ සම්බන්ධ වන්න

Subscribe

අප විසින් පලකරනු ලබන ලිපි සහ අනෙකුත් විශේෂාංග පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීම සඳහා අපගේ Email ලැයිස්තුවට සම්බන්ධ වන්න

About the Author

developer

Follow Us

Your Thoughts…

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *