19 වන සියවස මුල් අවධියේ යටත්විජිත පාලකයින් විසින් මෙ රටට හදුන්වා දුන් වැවිලි ආර්ථිකය හා උඩරට දුම්රිය මාර්ග පද්ධතියේ කුලී ශ්‍රමිකයින් වශයෙන් දකුණු ඉන්දියාවෙන් ගෙන වුත් කදුකරයේ වැවිලි භූමි ආශ්‍රිත ලැයිම් කාමරවල පදිංචි කරවන ලද ඉන්දීය සම්භවයක් ඇති දමිළ කම්කරු ප්‍රජාවගෙන් මෙරට වතු ජනාවාසකරණය ආරම්භවේ. ඒ අනුව මේ වනවිට වතුකරයේ ජනාවාසකරණයට වසර 200 ක් සපිරේ.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් දක්වන කදුරට වතුකරයේ ජීවත්වන මෙරටේ බිම් අඟලක හෝ අයිතිවාසිකමක් නැති වතු කම්කරු ජනතාවගෙන් බහුතරය අදටත් ජීවත්වන්නේ එදා බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකරන ලද ලැයිම් කාමර තුළය. වසර 1800 යේ මුල් ගණන්වල බ්‍රිතාන්‍ය පුද්ගලික වතු හිමියන් විසින් ඉදිකළ මෙම බොහොමයක් කම්කරු නිවාස සහිත වාස භූමි වැඩි ප්‍රමාණයක් ප්‍රධාන මාර්ග මෙන්ම සේවා මධ්‍යස්ථානවලින් ඈත්ව හුදකලා පරිසරයක පිහිටා ඇත. මේ හේතුව නිසාම සාමාන්‍ය සමාජයෙන් කොන්ව පරාදීන හා යැපුම් මානසිකත්වයක් තුල හිරවුන මොවුන් විවිධ අපහසුතා මැද ගත කරන්නේ ඛේදනීය ජීවිතයකි.
වතු ආර්ථිකය යහපත් කාල වකවානු තුල වූවත් වතු කම්කරුවන් සදහා වාසස්ථාන සැපයීමට පාලකයන් දක්වන ලද්දේ අඩු සැලකිල්ලකි. විදේශික වතු හිමිකරුවන් විසින් 10’x12 ½’ ප්‍රමාණයේ ලැයිම් කාමර ඉදි කරන ලද්දේ පිරිමි කම්කරු ශ්‍රමිකයන් වෙනුවෙනි. ඔවුනට කලත්‍රයා එක්වූ පසු ඒවා නිවාස බවට පත්විය. 1960 දශකයේ ලෝක තේ මිල අඩු වීමත් සමග වතු කම්කරුවන්ගේ නිවාස පහසුකම් සම්බන්ධයෙන් දක්වන සැලකිල්ල තව දුරටත් අඩුවිය. එසේම මේ සදහා කරන ආයෝජනය ආර්ථික ඵලදායිතාවක් නොමැති කාර්යක්සේ සැලකීමට ද වතු කළමනාකාරිත්වයන් නැඹුරු විය.
මෙම නිවාසවල අයිතිය වතු කම්කරුවාට ලබාදීමට ද කැමැත්තක් නොවූයෙන් ඒවා පිළිසකරකර ගැනීමට හෝ වැඩි දියුණුකර ගැනීමට ඔවුන් නොපෙලබෙන ලද අතර ජනගහණ වර්ධනයත් සමග අමතර පවුල් විසින් ලැයිමට යාබදව අනවසර පැල්පත් ඉදිකර ගෙන ඇත. මේ හේතුවෙන් ඒවා තව දුරටත් ජරාවාස වීමට පත්වී ඇති අතර වතු කම්කරුවාගේ ජීවන තත්වයද එයට සමගාමීව පිරිහීමට ලක්විය. තමන්ට නිවාස සපයාදීම වත්තේ වගකීමක් ය යන යැපුම් මානසිකත්වයක් ඔවුන් තුල මුල් බැස තිබීම ඔවුන් තව දුරටත් බාහිර සමාජයෙන් කොන්වීමට හේතු විය.
2012 ජන හා නිවාස සංගණනයට අනුව වතු අංශයේ නිවාස ඒකක ප්‍රමාණය 227,362 ක් වූ අතර මුලු ජනගහණය 901,647 කි. වතුකරයේ ජනතාව සම්බන්ධයෙන් තොරතුරු පවත්වා ගෙන යනු ලබන්නේ ඒ ඒ වතු මට්ටමින් ය. මේ හේතුවෙන් මනා දත්ත පදනමක් සකසා ගැනීම ද ගැටලුවක්ව ඇත. වතු මට්ටමින් කරණ ලද සමීක්ෂණවලට අනුව වතුකරයේ නිවාස ඒකක 160,000 ක් ලැයිම් කාමර හා සේවා පහසුකම් නොමැති තාවකාලික නිවාස ලෙස ගණන් බලා ඇත. ඒ ආශ්‍රිතව පදිංචි ජනගහණය 640,000 කට වඩා අධිකවේ. එම ලැයිම් කාමරවලින් බහුතරය ද ජීවත් වීමට නුසුදුසු ලෙස අබලන් තත්වයේ පවතින ඒවාය.
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 14 ක රාජ්‍ය වැවිලි අංශයට අයත් වතු 483 ක් ස්ථාන ගතව ඇත. මෙයින් වතු 268 ක් එනම් 55% පිහිටා ඇත්තේ උඩරටයි. ඒවා සියල්ලක්ම වාගේ තේ වතුයි. එකිනෙකට යාබදව ඇති මෙම වතු ආසන්නයේ සම්ප්‍රධායික ගම්මාන සොයා ගැනීම අපහසුයි. වතු කම්කරුවන් සියලුම දෙනා වත්තේම පදිxචි අයයි. 30% වන මැද රට වතුවලින් බොහොමයක් තේ හා රබර් ආශ්‍රිත වතුයි. ප්‍රධාන මාර්ග ආසන්නයේ වතුවලට මායිම් වූ ගම්මාන විශාල වශයෙන් දැකිය හැකියි. වතු කම්කරුවන්ගෙන් 80% ක් පමණ වත්තේම පදිංචි කරුවන් වන අතර ඉතිරි කොටස අවට ගම් වලින් පැමිණෙන්නන් ය. 15% වන පහත රට වතු, තේ සහ රබර් මෙන්ම පොල් වතු වලින් ද යුක්තවේ. සම්ප්‍රධායික කුඩා ගම්මාන, කුඹුරු යායවල් මෙම පහතරට වතු ආශ්‍රිතව පිහිටා ඇත. වතු සේවකයන් ගෙන් වත්තේ පදිංචිව සිටින්නේ 60% ක් පමණි. ඔවුන් ද අවට ගම්මාන වල තාවකාලික රැකියාවල යෙදෙයි.
වතුකරයේ නිවාසකරණය රැකියාව හා බැදුන වත්තෙන්ම සැපයිය යුතු දෙයක් ව පැවතුණි. කම්කරු පවුලකට එක් නිවසක් යන පදනම මත කුලියකින් තොරව ලබාදෙන ලයින් කාමර සදහා ඔවුනට අයිතිවාසිකමක් තිබුණේ නැත. 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත ක්‍රියාත්මකවීමත් සමග එතෙක් පුද්ගලික සමාගම් සතුව තිබූ වැවිලිකරය රජය සතුකරන ලද අතර, රාජ්‍ය වැවිලි සංස්ථාව හා ජනතා වතු සංවර්ධන මණ්ඩලය යන රාජ්‍ය ආයතනවලට ඒවායේ කළමනාකාරිත්වය පැවරිණී. 1992 වතු ජනතාකරණය වනතෙක් වතුකරයේ නිවාසකරණය වතු කළමනාකාරිත්වයේ වගකීමක් වී තිබිණ. පසුව ඒවා නඩත්තුකර ගැනීම පදිxචිකරුවන් පිටම පැටවුණි.
1980 දශකයේ පූර්ව භාගයේදී වතුකරයේ නිවාස හා ජනාවාස සංවර්ධනය උදෙසා රාජ්‍ය මැදිහත්වීම ඇරඹියේ වතු කම්කරුවා ට ශ්‍රී ලාංකික පුරවැසි භාවය ලබාදීමට ගත් පියවරත් සමගිනි. ඒ අවස්ථාවේ වතු මායිම් ජනාවාස ආශ්‍රිතව පර්යන්ත ගම්මාන සංකල්පයක් හදුන්වාදුන්න ද නොයෙකුත් හේතු සාධක හා විවිධ බලපෑම් මත ක්‍රියාත්මක කර ගත නොහැකි විය. පසුව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිවාස දශලක්ෂය ආරම්භයේ දී වතු නිවාස උප වැඩ සටහනක් හදුන්වා දුන් අතර එය වතු නිවාස සමුපකාර සමිති ක්‍රියාවලිය ඔස්සේ වතු ප්‍රජාව ගේ මූලිකත්වයෙන් ප්‍රජා මුලික නිවාස වැඩපිළිවෙලක් ලෙස ක්‍රියාත්මක විය.
වතුකරයේ නිවාස ප්‍රශ්නයට පැහැදිලි විසදුමකින් තොරව ක්‍රමවත් සුභසාධක වැඩසටහනක්ද සකසා ගත නොහැකි බව තේරුම් ගත් රජය වතු ප්‍රජාවගේ ජීවන තත්වය නගා සිටුවීමේ අරමුණින් 1994 වසරේ වතු නිවාස වෙනුවෙන් අලුත් නියෝජ්‍ය අමාත්‍යංශයක් පිහිටුවන ලදි. ඒ හරහා වතුකරයේ නිවාස ප්‍රශ්නයට වතු ප්‍රජාව කේන්ද්‍රීය කර ගනිමින් නව ප්‍රවේශයක් හදුන්වා දුන් අතර වතු කලමනාකාරිත්වය, වතු කම්කරු නිවාස සමූපාකාර සමිති, අදාල වැවිලි සමාගම්, වැවිලි මානව සංවර්ධන භාරය, ඇතුලු අනෙකුත් රාජ්‍ය, රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සංවිධාන වැඩසටහනේ සහය ආයතන බවට පත් කෙරිණ. තමන්ට කියා කිසිදු ස්ථානයක් නොමැතිව දිවිගෙවූ වතු කම්කරු ජනතාවට ඔවුනගේ කැමැත්ත අනුව නිවසක් තනා ගැනීමට බිම් කොටසක අයිතිය ලබාදෙමින් නිවාස ඉදිකර ගැනීම සදහා අවශ්‍ය ණය අධාර ලබාදීම මෙම වැඩසටහන් හරහා ක්‍රියාත්මක විය.
මෙසේ පසුගිය දශක කීපය තුල ඔවුනට වඩා හොද නිවාස ලබාදීම සදහා විශේෂයෙන් ඉන්දීය රජයේ ණය ආධාර යටතේ නිවාස වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර එමගින් පවුල් 25,000 කට පමණ වාසයට උචිත නිවාස ලැබී තිබේ. ඒ අනුව පවුල් 135,000 කට පමණ තව දුරටත් යෝග්‍ය නිවාස ලබා දිය යුතුව තිබේ. වතු නිවාස හා ජනාවාස ක්ශේත්‍රයේ ඇති ප්‍රශ්ණ ග්‍රාමීය හා නාගරික නිවාසකරණ ප්‍රශ්ණවලට වඩා වෙනස් වේ. ඒ අතර නිවාස සදහා ඉඩම් නිදහස් කිරීමට වතු කළමනාකාරිත්වයට නොහැකිවීම හා ශ්‍රී ලාංකික පුරවැසියන් ද වන මොවුනට ඒ සදහා නිත්‍යානුකූල අයිතියක් ලබාදීමේදී ඇති ගැටලු ප්‍රධාන තැනක් ගනී. වත්මන් තරුණ පරපුර වතු ආර්ථිකයෙන් බැහැරව රැකියා අපේක්ෂාවෙන් කොළඹ ඇතුලු ප්‍රධාන නගර කරා සංක්‍රමණය වීම ද ධනාත්මකව මෙන්ම ඍණාත්මකව ද සැලකිල්ලට ගත යුතු කරුණකි.
ග්‍රාමීය හා නාගරික ප්‍රජාවන්ට සාපේක්ෂව වතු ප්‍රජාව ගේ දරිද්‍රතාව ඉහළ අගයක පවතින අතර අධ්‍යාපනය සෞඛ්‍යය මෙන්ම ආර්ථික හා සාමාජීය ගැටලු, වත්මන් ආර්ථික අර්බූදයන් හමුවේ තව දුරටත් බැරෑරුම් කර ඇත. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය හා නාගරික අංශයන්හි ජනාවස ගැටලු හා සංසන්දනාත්මකව බලන විට වතු අංශයේ වත්මන් නිවාස හා ජනාවාස ගැටලුව වතුකරයට ම සුවිශේෂි වූ ස්වරූපයක් ගනී.
ඒ අනුව වතු ක්‍ෂේත්‍රයේ ජනතාව මුහුණ දෙන නිවාස සහ ජනාවාස ගැටලුවට වැඩි ප්‍රමුඛත්වයක් දෙමින් සමස්ථ සමාජ ප්‍රවාහයෙන් බැහැරව සිටින වතු කම්කරු ප්‍රජාව රාජ්‍ය පරිපාලන ව්‍යුහයේ කොටසක් ලෙස සලකමින් වත්ත තුල හා එයට මායිම් ව නව ගම්මාන සහිත මානව ජනාවාස සංවර්ධනයක් සහතික කිරීම යුගයේ අවශ්‍යතාවය වී ඇත.
එච්. එම්. දයානන්ද
හිටපු සාමාන්‍යධිකාරී ජාතික නිවාස සංවර්ධන අධිකාරිය
0 Comments