ෆින්ලන්තය ලොව සතුටින්ම සිටින මිනිසුන් ඉන්න රට වීමට හේතු 10 ක් | 10 reasons why Finland is the country with the happiest people in the world | time2talk

ඔබ හිතන විදියට මිනිසුන් වන අපි එදිනෙදා කරන හැමදේකම අවසාන අරමුණ මොකක්ද?
පොඩි කාලෙ හොඳින් ඉගෙනගන්න, ලොකු වුණාම හොඳ රැකියාවක් කරන්න, ආදරය කරන්න, මිතුරු මිතුරියන් ආශ්‍රය කරන්න, සංචාරයේ යෙදෙන්න පෙළඹෙන්නේ ඇයි? මේ ප්‍රශ්නෙට බොහෝ දෙනෙකුගෙ පිළිතුර වෙන්නෙ සතුටක් අත්විඳින්න කියන එක. එහෙම නැත්නම් අනාගතයෙදි සතුටින් ඉන්න කියන එක වගේ දේවල්. ධනය, බලය, ආකර්ෂනීය බව ඒ වගේම නිදහස. මේ මොනවා තිබුණත් සතුටක් නැත්නම් පලක් නැති බව අද වෙද්දි බොහෝ දෙනෙක් තේරුම් ගනිමින් ඉන්නවා. අන්න ඒ නිසා දළ දේශීය නිශ්පාදිතය, ආදායම වගේ සාම්ප්‍රදායික දේවල් වෙනුවට රටක දියුණුව මනින වැදගත්ම සාධකය විදියට රටක මිනිස්සු මොන තරම් සතුටකින් ඉන්නවද කියන දර්ශකයකට අද ලෝකෙ වැදගත් තැනක් හිමි වෙලා තියනවා. කාලෙක ඉඳලා මේ දර්ශකයෙ ඉහළම තැනක් හිමි වෙන්නෙ ස්කැන්ඩිනේනියානු රටවලයි. ඒ අතරිනුත් ෆින්ලන්තය වසර ගණනාවක් තිස්සේ ලොව සතුටින්ම සිටින මිනිසුන්ගේ රට විදියට මුල් තැන හිමි කරගෙන සිටිනවා. අවාසනාවන්ත විදියට ශ්‍රී ලංකාව නම් තියෙන්නෙ එම දර්ශකයෙ අනිත් කෙළවරේ අවසානයට ආසන්නවයි. ඉතින් කොහොමද ෆින්ලන්තය ලොව සතුටින්ම සිටින ජාතියක් බවට පත් වුණේ. ඒවා අපිට අපේ රටේ මිනිස්සුන්ට මීට වඩා සතුටින් ඉන්න ඉඩ සලස්වන්න ආදර්ශයක් කරගන්න පුළුවන්ද? අන්න ඒ වගේ ෆින්ලන්ත වැසියන් සතුටින් ඉන්න හේතු වෙන කරුණු 10ක් ගැන තමයි අද ලිපියෙන් අපි ඔබව දැනුවත් කරන්නේ.

(1) නිතරම එළිමහනේ ඉන්න ජාතියක්
රටේ 70%ක්ම වනාන්තර වලින් වැසී තිබෙන ෆින්ලන්තය ලොව වැඩිම වන වැස්මක් සහිත රටක්. ඒ නිසා වනාන්තර, එළිමහන, ස්වභාවික පරිසරය කියන දේවල් ෆින්ලන්තයේ ජාතික සංස්කෘතියේම කොටසක් වෙලා තියනවා. අවස්ථාවක් ලැබෙන හැම වෙලාවකම වගේ එළිමහනේ ඉන්න ඔවුන් උත්සාහ කරනවා. මේ නිසා කඳු නැගීම, බයිසිකල් පැදීම, එළිමහන් ක්‍රීඩා වල ඔවුන් නිතරම යෙදී සිටිනවා අපට දැකගන්න පුළුවන්. නිතර පිරිසිදු වාතාශ්‍රය, හිරු එළිය, ස්වභාවික සුන්දරත්වය, නිස්කලංක බව ආදී දේවල් අත්විඳීම නිසා ෆින්ලන්ත වැසියන්ට මානසික ආතතිය ඇතිවීමට තිබෙන ඉඩකඩත් ඉතාම අවමයි. ඒ නිසා ජීවිතයේ වැඩි කොටසක් ගොඩනැගිලි තුළ ගතකරන මිනිසුන් සිටින රටකට වඩා ෆින්ලන්ත වැසියන් ගොඩක් සතුටින් ජීවත් වෙනවා. ඔවුන් ඒ නිසාම ලොව බොහෝ දියුණු රටවලට වඩා සෞඛ්‍ය සහ ශාරීරික යෝග්‍යතාවය අතිනුත් ඉදිරියෙන් සිටින රටක්.

(2) බීමට ජලය සම්පූර්ණයෙන්ම නොමිලේ
ෆින්ලන්තය, එහි තිබෙන ස්වභාවික ජල මූලාශ්‍ර වලට අතිශයින්ම ප්‍රසිද්ධ රටක්. විල් දහසක් තිබෙන රට කියන අදහස ඇති Land Of The Thousand Lakes කියන නම ඊට ලැබී තියෙන්නෙත් අන්න ඒ නිසාමයි. පරිසරය සහ වන වැස්ම සුරක්ෂිතව පවත්වාගන්න එකේ අපූරු දායාදයක් නිසාමයි ෆින්ලන්තයේ බොහෝ ජලාශ වල තිබෙන ජලය කෙලින්ම බීමට ගන්න පුළුවන් තරම් ඉතාම පිරිසිදුයි. ජලය පිරිපහදු කිරීම සඳහා වියදම් කිරීමට සිදු වෙන දැවැන්ත වියදමක් ඔවුන් මේ නිසා ඉතිරි කරගෙන තිබෙනවා. ඒ නිසා නළ ජලය ළබා ගන්න ෆින්ලන්ත වැසියන්ට ගෙවන්න සිද්ධ වෙන්නෙ ඉතාම සුළු මුදලක් විතරයි. වතුර වලින් කිසිම අඩුවක් නැති නිසා ෆින්ලන්තයේ ඕනෑම අවන්හලකින් බෝතල් කළ පානීය ජලය නොමිලේම ලබා ගන්න පුළුවන්.

(3) හැම දරුවෙකුට ම වයස අවුරුදු 17ක් වන තුරු දීමනාවක්
ෆින්ලන්ත රජය විසින් රටේ උපදින සෑම දරුවෙන් වෙනුවෙන්ම මාසිකව දීමනාවක් ලබා දෙනවා. පළමු දරුවාට මාසයකට යුරෝ 100ක සිට ඊළඟ දරුවන් සඳහා ක්‍රම ක්‍රමයෙන් වැඩි වන ලෙස ලැබෙන මේ දීමනාව වයස අවුරුදු 17ක් වන තුරු නොකඩවා ලබා ගන්න පුළුවන්. දරුවන්ගේ අවශ්‍යතා සඳහා ඒ මුදල් වියදම් කරන්න පුළුවන් වුණත් බොහෝ දෙමවුපියන් කරන්නේ ඒවා ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් ඉතිරි කරන එකයි. මේකට අනෙක් හේතුව, දරුවන්ට අවශ්‍ය බොහෝ දේ රජය විසින්ම ලබා දීම. හැම දරුවෙකුටම අවශ්‍ය ඇඳුම් කට්ටල, සනීපාරක්ෂක නිෂ්පාදන, සෙල්ලම් බඩු ඇතුලු බොහෝ දේ ඇතුළත් කාඩ්බෝඩ් පෙට්ටි දෙමවුපියන් වෙත නිවසටම ඔවුන්ගේ රජයෙන් ලැබෙනවා. දරුවන්ව රැකබලා ගැනීමට පොදු උපදෙස් ඇතුළු කාඩ් පතකුත් එයට අන්තර්ගතයි. එමනිසා ඉතින් අළුතෙන් ලැබෙන දරුවා නිවසේ ආර්ථිකයට බරක් වෙන්න කිසිම ඉඩකඩක් නැහැ.

(4) පොලීසිය පිළිබඳ ඉහළ විශ්වාසයක්
ෆින්ලන්ත පිලීසිය සකස් වෙලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම ස්වාධීන, තනි ඒකකයක් වගේ ක්‍රියාත්මක වෙන විදියට. රටේ කිසිම කෙනෙකුට පොලිස් කටයුතු වලට ඇඟිලි ගහන්න හැකියාවක් ඇත්තෙ නැහැ. මෙන්න මේ නිසා දූෂණය සහ අල්ලස් චෝදනා ඉතාම අඩු, තම රාජකාරිය අකුරටම ඉටු කරන පොලිස් සේවාවක් විදියට ෆින්ලන්ත පොලීසිය අදටත් සැළකෙනවා. ෆින්ලන්ත ජාතිකයන් අතරත් මේ නිසා තම පොලීසිය ගැන තියෙන්නෙ ඉතාමත් ඉහළ විශ්වාසයක්. එක්තරා සමීක්ෂණයකදි ෆින්ලන්ත ජාතිකයන් 90%කටත් වැඩි පිරිසක් තමන් පොලීසිය විශ්වාස කරන බව පවසා තිබෙනවා. තමන්ට අසාධාරණයක් හරි එහෙම නැත්නම් අකටයුත්තක් හරි සිද්ධ වුණාම සෘජුවම පොලීසියට දැනුම් දීලා නිරාකරණය කරගන්න ෆින්ලන්ත වැසියන් කවුරුත් කටයුතු කරන බව තමයි පැවසෙන්නේ. මෙන්න මේ නිසාම ෆින්ලන්තය තුළ අපරාධ සිදු වීමත් ඉතාම අවමයි. නීතිය ගැන විශ්වාසය තියන නිසා කවුරුත් නීතිය අතට ගන්න යන්නෙත් නෑ.

(5) ක්‍රීඩාව ජීවිතයේම කොටසක්
අතීතයේ ඉඳලම බොහොම ක්‍රියාශීලී ජීවිතයක් ගෙවපු ෆින්ලන්ත වැසියන් අදටත් ඒ පුරුද්ද අතහැරෙගෙන නෑ. රටේ හැම කෙනෙක්ම වගේ නිතරම යම් ක්‍රීඩාවක නිරත වෙනවා. අන්තර්ජාතික මට්ටමේ කණ්ඩායම් ක්‍රීඩා විතරක් නෙමෙයි, ෆින්ලන්තයටම ආවේණික ක්‍රීඩා කිහිපයකුත් මේ අතර දැකගන්න පුළුවන්. විනෝදය, එකමුතු බව වගේම ශරීර සෞඛ්‍යත් වර්ධනය වෙන විදියට තමයි මේවා සකස් වෙලා තියෙන්නේ. ෆින්ලන්තයටම ආවේණික ක්‍රීඩා අතර බිරිඳව කරේ තියාගෙන බාධක දිවීමේ තරඟය ඉතා ජනප්‍රියයි. Wife Carrying කියා හඳුන්වන මෙය නිවාඩු දවස්වල ෆින්ලන්තයේ හැමතැනකම වගේ පැවැත්වෙනවා. මෑතක ඉඳලා සැමියා කරේ තබා ගැනීමටත් මෙය ව්‍යාප්ත වෙලා තිබෙනවා. මීට අමතරව, මදුරුවන් දඩයම් කිරීමේ ඉසවු, බූට් සපත්තු විසි කිරීමේ තරඟ වගේ ඔවුන්ටම ආවේණික තරඟ රාශියක් ෆින්ලන්තය ඇතුලෙ තියනවා. ගොඩක් සංකීර්ණ නැති මෙම ක්‍රීඩා වලට ඕනෙම කෙනෙක්ට සහභාගි වෙලා විනෝද වීමට හැකියාවක් තියෙනවා.

(6) අන්තර්ජාල භාවිතය අයිතිවාසිකමක්, වේගය අඩු වුණොත් වන්දි
2010 අවුරුද්දේදී ෆින්ලන්ත රජය අන්තර්ජාල භාවිතය තම රටේ වැසියන්ගේ අයිතිවාසිකමක් කියලා ප්‍රකාශයට පත් කළා. ඒ වගේ තීරණයක් ගත්ත පළමු රට වුණෙත් ෆින්ලන්තයමයි. මේ අනුව ෆින්ලන්ත ජාතික දුරකතන සන්නිවේදන සමාගම් වලට රට පුරාම අධිවේගි අන්තර්ජාල සබඳතා පවත්වා ගැනීම අනිවාර්‍ය කරලයි තියෙන්නේ. මේ නිසා, ජනගහනය වැඩි ප්‍රදේශ වලට විතරක් ආවරණය ලබා දෙන්න ෆින්ලන්තය තුළ කිසිම ඉඩකඩක් ඇත්තෙ නෑ. තමා ජීවත් වන ප්‍රදේශයට හොඳ ආවරණයක් නැති නම් ඒ ගැන පැමිණිලි කරන්න පවා ජනතාවට හැකියාව තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, ආවරණය තියෙන ප්‍රදේශයක අන්තර්ජාල වේගය (Internet speed) එක අඩු වෙලා නම්, ඒ වෙනුවෙන් ජනතාවට වන්දි පවා ඉල්ලන්න පුළුවන්. හොඳ ආවරණයක් (Coverage) ලබා දෙන්න අවශ්‍ය පහසුකම් සියල්ලක්ම වගේ තමන්ගේ රජයෙන් සැපයෙන නිසා දුරකතන සමාගම් වුණත් මේ ගැන විරෝධයක් දක්වන්නේ නැහැ.

(7) අම්මලාටත් වඩා තාත්තලා දරුවන් ගැන බලන රටක්
අපේ රටත් ඇතුලුව බොහෝ රටවල දරුවන්ට තාත්තා දකින්න ලැබෙන්නේ දවසකට සුළු වෙලාවකට විතරයි. දරුවන් නැගිටින්නත් කලින් රැකියාවට පිටත් වෙලා දරුවන් නිදාගත්තට පස්සෙ ගෙදර එන රැකියා කරන තාත්තලා වර්තමානය වෙද්දි බොහෝමයක් ඉන්නවා. කොහොම වුනත් ෆින්ලන්තය තුළ නම් ඒ වගේ දේවල් සිද්ධ වෙන්නෙ හරිම කලාතුරකින්. දවසේ යම් කාලයක් දරුවන් එක්ක ගතකරන එක දිරිමත් කිරීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මකයි. අලුතෙන් ඉපදුණු හෝ අඩු වයසේ දරුවන් ඉන්න තාත්තලා වෙත සති 9ක පඩි සහිත නිවාඩුවක් ලබා දීම අනිවාර්‍ය කරලා තියනවා. ඒ වගේම තමයි, අලුතෙන් ඉපදුණු දරුවන් තාත්තා විසින් පොදු ස්ථාන වලට අරගෙන ඇවිත් හඳුන්වලා දීම, එළිමහන් ක්‍රියාකාරකම් වලට කුඩා දරුවන් සම්බන්ධ කර ගැනීම ඔවුන්ගේ සංස්කෘතියෙම කොටසක්. මෙන්න මේ නිසා ෆින්ලන්තය කියන්නේ දරුවන් එක්ක වැඩිම කාලයක් ගතකරන තාත්තලා පිරිසක් ඉන්න අපූරු රටක්.

(8) වැඩියෙන්ම පොත්පත් කියවන රටක්
ස්මාර්ට් දුරකතන පැමිණීමත් එක්ක තොරතුරු ලබාගන්න තියන පහසුව බොහෝ ඉහළ ගිහින් තිබුණත්, එයින් පොත්පත් කියවීම වගේ දේවල් වල පැහැදිලි පසුබෑමක් දැකගන්න පුළුවන්. මේ නිසා අද වෙද්දි බොහෝ රටවල පොත් කියවීම ඉතා අඩු මට්ටමක තමයි තියෙන්නේ. කොහොම වුණත් ෆින්ලන්තය තුළ නම් පොත් කියවීම අදටත් ඉස්සර වගේ ම ඉතා ඉහළ මට්ටමකයි තියෙන්න්නේ. ෆින්ලන්ත වැසියන්ගෙන් 70%කටත් වඩා පිරිසක් තමන්ගේ ප්‍රදේශයේ පුස්තකාලයේ සක්‍රීය සාමාජිකයෙක්. ෆින්ලන්ත රජය විසින් පොත්පත් මුද්‍රණය කරන්න යන වියදම් අවම වෙන විදියට බදු ප්‍රතිපත්ති සකස් කරලා තියන නිසාත්, ප්‍රාදේශීය පුස්තකාල පවතවාගෙන යන්න අවශ්‍ය සියලුම ප්‍රතිපාදන ලබා දෙන නිසාත් පොත් කියවන්න කැමති කිසිම කෙනෙකුට මුදල් ප්‍රශ්ණයක් ඇති වෙන්නෙ නෑ. ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය තුළත් පොත් කියවීම දිරිමත් කරලයි තියෙන්නේ.

(9) ලොව හොඳම අධ්‍යාපන ක්‍රමය නොමිලයේම
ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය ලොව හොඳම අධ්‍යාපන ක්‍රමය විදියට කාලෙක ඉඳලම සැලකෙනවා. සාම්ප්‍රදායික ක්‍රම වලින් බැහැරට ගිහිල්ලා දරුවන්ගේ විෂය දැනුම වගේම ජීවන කුසලතාත් වර්ධනය වන විදියට එය සකස් කර තිබෙනවා. ෆින්ලන්ත පාසල් දරුවන් ලොව අඩුම මානසික පීඩනයකින් සිටින දරු පිරිසක් විදියට සැලකෙන්නෙ මෙන්න මේ හේතු නිසාමයි සහ මෙම අධ්‍යාපන ක්‍රමයේ තියන අපූර්වත්වය නිසාමයි. අද වෙද්දි ලෝකය පුරාම රටවල් තම අධ්‍යාපන ක්‍රමය වැඩි දියුණු කරගන්න මේ ෆින්ලන්ත ක්‍රමය ආදර්ශයට අරගෙනයි තියෙන්නේ. ලොව හොඳම අධ්‍යාපන ක්‍රමය වුණත්, එය සැපයෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ වීම විශේෂ කාරණයක්. සියලුම පාසල් වලට අවශ්‍ය ප්‍රතිපාදන තමන්ගේ රජය විසින් ලබා දෙන අතර ම ඉගෙනීම, පොත්පත් වගෙම ක්‍රීඩාවේ නිරත වීම සඳහාත් කිසිම අය කිරීමක් ඔවුන් සිදු කරන්නේ නෑ. සියලුම දරුවන්ට පාසලෙන් පරිපූර්ණ අධ්‍යාපනයක් ලබා දෙනවා වගේම අසහනකාරී තරඟ විභාග කිසිම දෙයක් නොමැති නිසා පාසල් වයසේ දරුවන් වෙනුවෙන් ටියුෂන් සංස්කෘතියක් ෆින්ලන්තෙ කිසිම තැනක දැකගන්න නැහැ.

(10) සිසු – Sisu
සිසු කියන්නේ ෆින්ලන්ත වැසියන්ටම ආවේණික, ඔවුන්ගේ ජීවිතයේ වැදගත් සංකල්පයක්. මේකට සිංහල හෝ ඉංග්‍රීසි භාෂා වලින් හරියටම සමාන වෙන වචනයක් නම් නැහැ. නමුත් එහි අදහස වෙන්නෙ තමන් ගැන ඉහළ විශ්වාසයක් පවත්වා ගන්න එක. වේදනාවන් හා විඳ දරාගැනීමට හුරුවීම සහ උපරිම කැපවීමක් සිදු කිරීම වගේ දේවල් මීට අන්තර්ගතයි. ඕනෑම අවස්ථවකට ඉතාම සන්සුන්ව මුහුණ දීම සිසු කංකල්පයේ මූලික කොටසක්. එනිසා සිසු අනුව හැදී වැඩෙන ෆින්ලන්ත දරුවන් අවදානමක් ගන්න, කැපවෙලා වැඩක් කරන්න, එඩිතරව ඕනෑම දේකට මුහුණ දෙන්න ස්වභාවයෙන්ම හුරු වෙලයි තියෙන්නේ. ෆින්ලන්ත ජනතාව ත්‍රාසජනක ක්‍රීඩා වල ඉදිරියෙන්ම ඉන්නෙත් අන්න ඒ නිසාමයි. ෆෝමියුලා කාණ්ඩයේත්, රැලි තරඟ ඇතුලු රේසින් ඉසවු වලත් ෆින්ලන්ත ජාතිකයින් වැඩි පිරිසක් දකින්න ලැබෙන හේතුව මේ සිසු ක්‍රමය බව තමයි කියවෙන්නේ.

ඉතින් මේ දේවල් ගැන හිතලා බැලුවම ෆින්ලන්ත ජාතිකයන් ලොව සතුටින්ම ඉන්න ජාතිය වෙන එක ලොකු පුදුමයක් නෙමෙයි. මේ කරුණු 10ම නැතත් ඉන් කිහිපයක් හරි ලංකාව වගේ රටක අපිටත් ආදර්ශයට ගන්න පුළුවන් නම්, අපිටත් බොහොම සතුටින් ඉන්න රටක් බවට පත් වෙන්නත්, සතුටින් ඉන්න දර්ශකයේ තව ටිකක් හරි ඉදිරියට එන්නත් පුළුවන් වේවි.

Share this article on

Let’s talk about us!

ඔබගේ දැන්වීම් ප්‍රචාරණය සිදු කරගන්නා ආකාරය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට WhatsApp ඔස්සෙ සම්බන්ධ වන්න

Subscribe

අප විසින් පලකරනු ලබන ලිපි සහ අනෙකුත් විශේෂාංග පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීම සඳහා අපගේ Email ලැයිස්තුවට සම්බන්ධ වන්න

About the Author

Shanika Sewwandi

Follow Us

Your Thoughts…

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *