“මම එයාව පරිස්සම් කළේ ඇහැක් වගේ” කියන කතාව දෙමාපියන් තම දරුවන් ගැන කියනව අපි කවුරුත් අහල තියෙනවා. අපේ ශරීරයේ තිබෙන වඩාත්ම පහසුවෙන් හානියට ලක් වෙන්න පුළුවන් අවයවයක් තමයි ඇස කියන්නේ. සිරුරේ වෙනත් බොහෝ තැන් වලට ගානක්වත් නැති තරම් කුඩා පහරක් වුණත් අපේ ඇසක් සදාකාලිකවම අන්ධ වෙන්න හොදටම ප්‍රමාණවත්. ඉතින් අන්න ඒ ඇස්දෙක හානියක් නැතිව මේ තරම් කාලයක් ප්‍රවේශම් කරගන්න පුළුවන් වුණ ඒක ගැන අපි කාට වුණත් ඇත්තටම ආඩම්බර වෙන්න පුළුවන්. කොහොම නමුත්, ඇස් දෙකට හානි වෙන්නේ බාහිරින් විතරක් නෙමෙයි. අද කාලේ හැමෝම දවසින් වැඩිම කාලයක් කරන්නේ තිරයක් දිහා බලාගෙන හිඳීමයි. රැකියාවේ දී වුණත්, නිවසේ වුණත් පරිගණක තිරයක්, ජංගම දුරකථන තිරයක් හෝ රූපවාහිනී තිරයක් දිහා නොබලා ඉන්නේ කීයෙන් කී දෙනාද.? නිතරම ඇස් වල ගැටෙන ආලෝකය නිසා ඇස් වල තිබෙන සියුම් සෛල විනාශ වීම වේගවත් වෙනවා. කොහොම නමුත් වාසනාවකට වගේ අද කාලේ හැම තැනම තියෙන LCD/ LED තිර වලින් CRT තිර තරම් ඇසට හානි නොවන බව පෙනී ගොස් තිබෙනවා. අපේ ශරීරයට කිසිම ගැටලුවක් නැතිව ඇස්වල තිබෙන මියයන සෛල ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් වුනත් ඒ සඳහා නිසි පෝෂණය ලබා ගන්න එක නම් අත්‍යාවශ්‍යයි. එක එක බෙහෙත් කරනවට වඩා හොඳම දේ වෙන්නේ අපි ගන්නා ආහාර වලින්ම පෝෂණය ලබා ගන්නා එකයි. අද මේ ලිපියෙන් සඳහන් කරන ආහාර ඇස් වල පෙනීම දුර්වල නොවී පවත්වාගැනීමත්, ඇස්වල පෙනුම වැඩිදියුණු කරගැනීමටත් උදව් වන බවට පර්යේෂණ ගණනාවකින් වර්තමානය වෙද්දී සනාථ වෙලා තියෙනවා. එහෙනම් අපි දැන් බලමු මේ ආහාර 10 මොනවද කියලා.
(1) කැරට්
කැරට් කියන්නේ අපේ ම රටේ වැවෙන ඕනෑම තැනකින් පහසුවෙන් හොයාගන්න පුළුවන් එළවළුවක්. ඔබේ සිරුර ලස්සන කරන්න හොඳ හැකියාවක් තියෙන කැරට්, ඇස් පෙනිම හොදින් පවත්වාගන්න උදව් වන බවත් කාලයක සිටම ප්‍රසිද්ධයි. එය මෑත කාලයේ කරපු පර්යේෂණවලින් පවා තහවුරු වී තිබෙනවා. කැරට් වල මේ ගුණයට ප්‍රධානම හේතුව වෙන්නේ විටමින් A සහ Beta carotene කැරට් වල අඩංගු වීමයි. අක්ෂි සෛල ප්‍රතිස්ථාපනය කරන්න අත්‍යවශ්‍ය රොඩොප්සීන් (Rhodopsin) කියන ප්‍රෝටීනය සංස්ලේෂණ කරන්න විටමින් A භාවිත වෙනවා. විටමින් A වල ප්‍රභේදයක් වන බීටා කැරොටීන්, විශේෂයෙන්ම අදුරු අවස්ථාවල පෙනිම ලබාදෙන කේතු සෛල ප්‍රතිස්ථාපනයට ඉතාම වැදගත්. කොහොම නමුත් උෂ්ණත්වය නිසා කැරට් වල ඇති පෝෂක යම් තාක් දුරකට විනාශ වෙන්නත් ඉඩ තිබෙනවා. ඒ නිසා පුළුවන් හැම වෙලාවකම කැරට් සම්බෝල, කැරට් ජූස් වගේ ක්‍රමයකින් පිසීමකින් තොරව කැරට් ආහාරයට ගන්න එක තමයි වඩාත්ම හොඳම දේ වෙන්නේ.
(2) බතල
කාලයක් තිස්සේ ගොඩක් අය කන ආහාරයක් විදියට සැලකුනත්, බතලත් අද වන විට Sweet potato කියන ඉංග්‍රීසි නමින් ප්‍රසිද්ධ වෙලා trend එකේ තියෙන ආහාරයක් වෙලා. මහත් වෙන්නෙ නැතුව සිරුරට අවශ්‍ය කාබෝහයිඩ්රේට් ලබාගන්න හොඳම ක්‍රමයක් වන මේ බතල ඇස් වල පෙනීම වර්ධනය කරන ආහාරයක් බවටත් අද වන විට තහවුරු වී තිබෙනවා. බතල කියලා කියන්නේ කැරට් වලටත් වඩා බීටා කැරොටීන් වලින් පිරුණු ආහාරයක්. අපේ ඇස් වලට රාත්‍රී කාලයේ පෙනුම ලබාදෙන කේතු සෛල ප්‍රතිස්ථාපනය කරන්න beta carotene අත්‍යවශ්‍යයි. ඔබටත් රාත්‍රි මද අඳුරේ පෙනිම අඩු බවක් දැනෙනවා නම් ඒ කේතු සෛලවල දුර්වලතාවයක් වෙන්න පුළුවන්. ඉතින් ඔබත් නිතරම බතල ආහාරයට ගන්න පුරුදු වෙන්න. එහෙම වුනොත් කවදාවත් ඇස් වල පෙනීම ගැන වදවෙන්න වෙන එකක් නෑ.
(3) නිවිති සහ තද කොළ පැහැති පලා වර්ග.
අම්මලා නිතරම කියන දෙයක් තමයි, පලා වර්ග කෑවෙ නැත්නම් ඉක්මනින්ම ඇස්වල පෙනුම දුර්වල වේවි කියනදේ. පලා වර්ග කවාගන්න කියන බොරුවක් කියලා හිතුවාට, ඇත්තටම තද කොළ පැහැ පලා වර්ග වල ඇස් වල පෙනුම වැඩි දියුණු කරන්න සමත් පෝෂක ඇති බව අද වන විට විද්‍යාත්මකව තහවුරු වී තිබෙනවා. නිවිති වගේ තද කොළ පාට පලා වර්ග මෙහිදී විශේෂයෙන්ම වැදගත් වෙනවා. ලූටේන් (lutein) සහ සියාශැන්තින් (zeaxanthin) කියන ක්ෂුද්‍ර පෝෂක මේවායේ බහුලව අඩංගුයි. අපේ අක්ෂි ස්නායුවේ ක්‍රියාකාරීත්වය දියුණු කරන්න මේ ක්ෂුද්‍ර පෝෂක උපකාරී වෙනවා. ඉතින් ඔබත් සතියකට දින කිහිපයක් වත් තමන්ගේ ආහාරයට පලා වර්ගයක් එකතු කරගන්න බලන්න.
(4) සුකිණි
සුකිණි කීවම සමහරු අඳුරන්නෙ නැති වුණාට, එය නුවරඑළිය ඇතුළු කඳුකර ප්‍රදේශවල හොඳින් වැඩෙන වගාවක්. තද කොළ සහ කහ පැහැයෙන් යුත් මේවා ලූටේන් (lutein) සහ සියාශැන්තින් (zeaxanthin) වලින් වගේම, මීසෝ සියාශැන්තින් (meso zeaxanthin) වලිනුත් පිරී පවතිනවා. අක්ෂි ස්නායුවේ නිසි ක්‍රියාකාරිත්වයට වැදගත්වන මේවා පොදුවේ හඳුන්වන්නේ කැරොටිනොයිඩ (carotenoid) කියලයි. මීට අමතරව මීසෝ සියාශැන්තින් (meso zeaxanthin) මගින් අපේ ඇස්වලට පරිගණක හා ජංගම දුරකථන තිරවලින් ලැබෙන නිල් ආලෝකය දෘෂ්ටි විතානය කරා යොමු වීම සීමා කරන බවටත් සාක්ෂි තිබෙනවා. නිල් ආලෝකය නිසා අක්ෂි සෛලවල ආලෝක ප්රේනිත ඔක්සිකරණයක් හෙවත් (light Induce oxidation) එකක් ඇතිවීමේ හැකියාව මෙයින් අවම වෙනවා. සුකිණි අද වන විට බොහෝ වෙළදසැල් වලින් ලබාගන්න පුළුවන් නිසා හොයාගන්නත් අපහසුවක් නැහැ.
(5) විටමින් c බහුල පලතුරු
විටමින් c, සුදු වෙන්න උදව් වෙනවා කියලා ඔබ අහල ඇති. නමුත් එය ඇස් පෙනීම හොඳින් පවත්වා ගැනීමටත් දායක වන බව ඔබ කවදහරි දැනන් හිටියද? අප ගන්නා ඇතැම් ආහාර වල තිබෙන මුක්ත ඛණ්ඩක හෙවත් ෆ්‍රී රජිඩඅල්ස් (free rageduls) රුධිරයට එකතු උනාම ඒවායින් සිදුවන ප්‍රබල ඔක්සිකරණයෙන් සිරුරේ ඕනෙම සෛලයකට හානි සිදුවෙන්න පුළුවන්. අක්ෂි සෛලවලට වුණත් එයින් බේරීමක් නැහැ. මේ නිසා මුක්ත ඛණ්ඩක පාලනය කරන්න සිරුරට නිතරම ප්‍රතිඔක්සිකාරක ලැබීම අත්‍යවශ්‍යයි. විටමින් c කියලා කියන්නෙ මුක්ත ඛණ්ඩක පාලනය කරන හොඳ ප්‍රතිඔක්සිකාරකයක්. මේ නිසා, විටමින් c වලින් සිරුරේ අනෙක් සෛල වගේම අක්ෂි සෛලත් නීරෝගී ව තබාගැනීමට උදවුවක් වෙනවා. මේ නිසා නිතරම දොඩම්, ඇපල්, නාරං වැනි විටමින් c බහුල පලතුරු ඔබත් නිතරම ආහාරයට එකතු කරගන්න.
(6) මස් වර්ග
අපි කන බොහෝ මස් වර්ග වල සින්ක් ලවණ අඩංගුයි. සිරුරට ඉතා වැදගත් වන සින්ක් ලවණ ඇස් පෙනීම දියුණු කරන්න විශාල කාර්යභාරයක් ඉටු කරන බව පර්යේශන වලින් තහවුරු වෙලා තියනවා. සින්ක් කියලා කියන්නෙ සිරුරට අත්‍යාවශ්‍ය ක්ෂුද්‍ර පෝෂකයක්. වෙනත් බොහෝ වැදගත් රසායනික ක්‍රියාවලීන් වලට වගේම අක්මාවේ තැන්පත් වී ඇති විටමින් A ඇසේ දෘෂ්ටි විතානය වෙත සංසරණය කිරීමේ ක්‍රියාවලියටත් සින්ක් ලවණ උදවු වෙනවා. මේ ක්‍රියාවලියේ කාර්යක්ෂම බව මිය යන අක්ෂි සෛල ප්‍රතිස්ථාපනය කරන්න ඉතාම වැදගත් නිසා සිරුරට අවශ්‍ය තරම් සින්ක් ලවණ ලැබීම ඇස් වලට පෙනුම කලක් යන තුරු හොඳින් පවත්වා ගන්න හේතුවෙනවා. කුකුල් මස් වල පපුව කොටසේත්, හරක්මස් වල තෙල් අඩු කොටස් වලත් සින්ක් ලවණ වැඩිපුර අඩංගුයි.
(7) බිත්තර
බිත්තර කියලා කියන්නේ පෝෂණ ගුණයෙන් ඉතාම අනූන ආහාරයක්. තවත් බොහෝ ප්‍රයෝජන වලට අමතරව බිත්තර ආහාරයට ගැනීම ඇස් වල පෙනීම වැඩි කරන්නත් උපකාරී වෙනවා. බිත්තර සුදු මදය සින්ක් ලවණවලින් පිරී පවතින නිසා අක්ෂි සෛල වෙත විටමින් A ප්‍රවාහනය කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ශම කරන්න දායක වෙනවා. කහ මදයේ ඇති ලූටේන් (lutein) සහ සියාශැන්තින් (zeaxanthin) කියන ක්ෂුද්‍ර පෝෂක අක්ෂි ස්නායුවේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරන්නත්, නිල් ආලෝකය නිසා අක්ෂි සෛල වලට හානිවීම අවම කරන්නත් හේතුවෙනවා. කාලයක් තිස්සේ කොලස්ට්‍රෝල් අධික ආහාරයක් කියලා සැලකුණත් දිනකට, තුනකට අඩුවෙන් බිත්තර ආහාරයට ගන්න එක සිරුරට ඉතාමත්ම ගුණදායක බව දැන් පර්යේෂණවලින් හොයාගෙන තියෙනවා. මේ නිසා බය නැතිව දවසකට එක බිත්තරයක් හරි අහාරයට ගන්න ඔබත් උත්සාහ ගන්න.
(8) කඩල සහ බෝංචි ඇට
අද වන විට මස් වර්ග සකස් කරන විදිය ගැන තියන ගැටලු වගේම බොහෝ දෙනෙක් නිර්මාංශිකයින් බවට පත්වීම නිසා ශාක ආහාර වලින් අවශ්‍ය පෝෂක ලබා ගැනීම ගැනත් උනන්දුවක් ඇති වී තිබෙනවා. විශේෂයෙන්ම කඩල සහ බෝංචි ඇට කියලා කියන්නෙත් අන්න ඒ වගේ ශාක ප්‍රෝටීන් ලබා ගන්න හොඳම ප්‍රභව දෙකක්. කොහොම නමුත් ප්‍රෝටීන වලට අමතරව සින්ක් ලවණ වලිනුත් කඩල සහ බෝංචි ඇට අනූනයි. බෝංචි ඇට කඩල වලට වඩා සින්ක් ප්‍රතිශතය ඉහළ වුණත් ශ්‍රී ලංකාවේ බෝංචි ඇට වල මිල තරමක් ඉහළ නිසා වඩාත් ප්‍රායෝගික වන්නේ කඩල ආහාරයට ගැනීමයි. කලිනුත් කතා කළ විදිහටම අපේ ඇස් වල පෙනීම හොඳින් පවත්වා ගන්න නම් සින්ක් ලවණ ඉතාමත් වැදගත්. මේ නිසා, නිතර මස් වර්ග ආහාරයට ගන්නේ නැතිනම් කඩල ආහාරයට ගැනීමත් ඉතාම හොඳ විකල්පයක්.
(9) ඔමේගා 3 අඩංගු මාළු වර්ග
ඔමේගා 3 වලින් සිරුරට ලැබෙන ප්‍රයෝජන ගැන අපි හොඳටම දන්නවා. ඇස් වල සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට අවශ්‍ය නොවුනත් ඇස් වල ඇති විය හැකි භයානක රෝගයක් වන ග්ලුකෝමා වළක්වා ගන්න ඔමේගා 3 ඉතාම වැදගත්. ග්ලූකෝමා (glaucoma) කියන්නේ, ඇතිවෙන්න හේතුව හෝ ඇති වුණාට පසුව ප්‍රතිකාර කරන විදිහ තවමත් නිවැරදිව හඳුනා නොගත් රෝගයක්. කොහොම නමුත් ඔමේගා 3 වලින් ඉහළ ආහාර නිතරම ගැනීමෙන් එය ඇතිවීමේ පැහැදිලි අඩුවක් ඇති බව පර්යේෂණ බොහෝමයකින් පෙනී ගොස් තිබෙනවා. හැදුනට පස්සේ අන්ධ වීමක් දක්වා යන්න පුළුවන් නිසා හොඳම දේ තමයි කලින්ම ග්ලූකෝමා වළක්වා ගන්න එක. මෙරට ඉතා අඩු මුදලට ලබාගත හැකි ලින්නා මසුන් ඔමේගා 3 වලින් අනූනයි.
(10) සූරියකාන්ත ඇට සහ තෙල්
සූරියකාන්ත රට කියලා කියන්නේ තරමක් හොයාගන්න අපහසු වුණත්, සිරුරට හොඳ විටමින් ඊ ලබාගන්න තිබෙන හොඳම ප්රභවයයි. සූරියකාන්ත රට සොයා ගන්න අපහසු නම් පහසුවෙන්ම මිල දී ගත හැකි සූරියකාන්ත තෙල් භාවිතයෙනුත් විටමින් ඊ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. විටමින් ඊ කියලා කියන්නේ ඇස්වල එදිනෙදා ක්‍රියාකාරීත්වයට සෘජු දායකත්වයක් නොදැක්වුවත් කාලයක් යනකොට ඇස් වල මතුවෙන්න ඉඩ තියෙන රෝග ගණනාවක් වළක්වන විටමිනයක්. තරුණ වයසේ විටමින් ඊ නිසි පරිදි ලබා ගත් අයට හතලිස් ඇඳිරිය කියන තත්ත්වය, ඇසේ සුද මතුවීම හෙවත් Cataract කියන තත්ත්වය වගේ බොහෝ අක්ෂි ගැටලු ඇති වීමේ පැහැදිලි අඩුවක් තිබෙන බව පර්යේෂන වලින් වර්තමානය වෙද්දී තහවුරු වී තිබෙනවා. මේ නිසා දැන ඉඳන්ම විටමින් ඊ බහුල සූරියකාන්ත තෙල් ඔබේ ආහාරයට එකතු කරගන්න බලන්න.
ඇස් දෙකේ පෙනුම රැකගැනීමේ වැදගත්කම තේරුම් ගන්න අඳුරේ යමක් කරන්න ගියාම තියන අපහසුව අත්විඳිම හොඳටම ප්‍රමාණවත්. ඔබ කණ්නාඩි භාවිතා කරන අයෙක් නම් එය තවත් විදියකින් අත්විඳලා ඇති. ඉතින් මොනතරම් කිව්වත් අපිට ඇස් වලට හානි කරන ක්‍රියාවලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න අපහසු හින්දා හොඳ ම දේ වෙන්නේ ඒ හානිය අවම කරන හෝ ආපසු හරවන ආහාරවලට හුරුවෙන එකයි.
ඉතිං මේ කියපු ආහාරවලින් කීපයක් හරි ඔබේ ආහාර වේලට එකතු කරගන්න. එහෙම කළොත් ඔබට දැන් වගේ ම හොඳ ඇස් පෙනීමක් මං බොහෝ කාලයක් යනතුරු පවත්වා ගන්න හැකියාව ලැබේවි.
ඔබට සුභ දවසක්!
0 Comments